වසර 14 කට පසු මහපොළ අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශනය එළඹෙන දෙසැම්බර් මස 13 වනදා සිට 17 වනදා දක්වා ජා ඇල නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

පසුගිය කාලයේ පැවැති කොවිඩ් වසංගත තත්ත්වය හා ආර්ථික අවපාත තත්ත්වය හමුවේ පැවැත්වීමට නොහැකි වූ මහපොළ අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශනය මෙලෙස පැවැත්වීමට සංවිධානය කර ඇති බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසා ඇත.

ඔහු මෙම අදහස් පළ කළේ අද දින (12) වනදා වෙළෙඳ අමාත්‍යාංශයේදී මහපොළ අධ්‍යාපන හා වෙළෙඳ ප්‍රදර්ශණය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා වූ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි.

ග්‍රාමීය ප්‍රදේශයන්හී දක්ෂ ව්‍යවසායකයන්, නව නිපැයුම්කරුවන් හා අන්තර්ජාතික අපනයන වෙළෙඳපොළ වෙත ප්‍රවිශ්ඨ වීමට බලාපොරොත්තුවෙන් සිටින ව්‍යවසායකයින් වෙනුවෙන් වෙළෙඳ අමාත්‍යාංශය යටතේ පවතින වාණිජ දෙපාර්තමේන්තුව, පාරිභෝගික කටයුතු අධිකාරිය හා කිරුම් මිණුම් දෙපාර්තමේන්තුව යන ආයතන ඔස්සේ විශාල දැනුමක්  මෙම ප්‍රදර්ශනය ඔස්සේ ලබා ගත හැකි අතර වෙළෙඳ ප්‍රදර්ශනය ඔස්සේ විනෝදාස්වාදයෙන් පිරි අත්දැකීමක්ද ලබා ගත හැකි බව ද අමාත්‍යවරයා පවසා තිබේ.

මෙම මහපොළ අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශනය අමාත්‍යාංශ ලේකම්වරයා යටතේ අමාත්‍යාංශය හරහා සෘජුව ක්‍රියාත්මක වේ.

ඊට අමතරව රාජ්‍ය හා පෞද්ගලික අංශයේ උසස් නිළධාරීන් 15 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් යටතේ අධීක්ෂණ කටයුතු සිදු වන බවද සඳහන් වේ.

ඒ අනුව විනෝදාස්වාදය මෙන්ම දැනුම කැටිකරගත් මෙම ප්‍රදර්ශනය සඳහා එක්වන ලෙසට අමාත්‍යවරයා සියලු දෙනාට ආරාධනා කර ඇත.