මෙවර මහ කන්නයේ අක්කර 8461ක් පැරෂුට් ක්‍රමයට වගා කිරීම සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව  රුපියල් මිලියන 490ක් වටිනා පැරෂුට් තැටි ගොවි ජනතාවට නොමිලයේ ලබා දීම ඇරැඹූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසා ඇත.

එමෙන්ම පැරෂුට් තැටි ලබා දීමේ මෙම වැඩ සටහන යටතේ මෙවර මහ කන්නය සඳහා තැටි මිලියන 3.2ක් ගොවීන්ට නොමිලයේ ලබා දීමට සැලසුම් කර ඇතැයි ද කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර ප්‍රකාශ කර තිබේ.

මෙම පැරෂුට් තැටි වසර 10ක් කන්න 20ක් එක දිගට භාවිතා කළ හැකි වන අතර  අක්කරයකට තැටි 400ක් අවශ්‍ය වන බවත් මෙම තැටි ලබා දීමේ දී ගොවි ජනතාව එක් තැටියක් මිල දී ගත යුතු අතර රජය විසින් නොමිලයේ තැටි තුනක් ලබා දීමට පියවර ගෙන ඇති බවත් ඔහු  සඳහන් කර ඇත.

අවම පොහොර ප්‍රමාණයක් භාවිතා කිරීමට හැකිවීම, වල් මර්දනය සඳහා අමතර මුදලක් වැය නොවීම, හා වල් මර්දනය සඳහා පළිබෝධනාශක යෙදීමට සිදු නොවීම මෙන්ම වැඩි අස්වැන්නක් ලබා ගැනීමට හැකිවීම නිසා මෙම ක්‍රමය ගොවි ජනතාවට වාසිදායක බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් පවසා තිබේ.

පැරෂුට් ක්‍රමය යනු වී වගාවේ අස්වැන්න වැඩි කර ගැනීම සඳහා යොදා ගත හැකි නව තාක්ෂණික ක්‍රමයකි.

සාමාන්‍ය ක්‍රමයට වී වපුරනවාට වඩා මෙම ක්‍රමය මගින් බිත්තර වී භාවිතය සියයට 50කින් අවම කරගත හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.