2024 මහ මැතිවරණ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ දී මෙවර යොදාගැනෙන්නේ වම් අතෙහි දබරැඟිල්ල බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නායක මහතා අද (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසයි.

ඒ සම්බන්ධයෙන් සමන් රත්නායක මහතා වැඩිදුරටත් දැක්වූ අදහස් :

“පසුගිය ජනාධිපතිවරණයේ දී අපි වම්අතේ සුලැඟිල්ල වර්ණ ගන්වනු ලැබුවා. බොහෝදෙනෙකුගේ ඒ සලකුණු කළ ආකාරය ඒ අයුරින්ම තිබෙනවා. ඒ නිසා මෙවර මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරලා තියෙනවා වම් අතේ දබරැඟිල්ල සලකුණු කිරීම සඳහා භාවිතා කරන්න.”

එමෙන්ම නොවැම්බර් 14 වනදා මහ මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මූලික කටයුතු සියල්ල අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව පවස​යි.

මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් ව​න අතර තව දින 3කින් පැවැත්වෙන මහ මැතිවරණයේදී මෙරට දස වැනි පාර්ලිමේන්තුවටමන්ත්‍රීවරුන් තෝරා පත්කරගැනීම සඳහා ඡන්දදායකයින් 17,140,354 දෙනෙකු ඡන්ද භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටී.

එමෙන්ම මෙවර මැතිවරණයේ නිරීක්ෂණ ක්‍රියාවලිය වෙනුවෙන් ජාත්‍යන්තර නිරීක්ෂකයින් පිරිසක් ද මේවන විටත් දිවයිනට පැමිණ සිටියි.