මෙරට 10 වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරාපත් කරගැනීම වෙනුවෙන් පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණය හෙට (14) පැවැත්වේ.

මෙවර මැතිවරණය සඳහා අපේක්ෂකයින් 8,888ක් තරගවදින අතර ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් ගණන 17,140,354කි. දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතයි.

ඡන්ද කාඩ්පතක් නොලැබුණත් ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී ඇත්නම්, අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන ගොස් ඡන්දය භාවිත කළ හැකි බව මැතිවරණ කොමිසම ඡන්ද දායකයින්ට දැනුම්දෙයි.

ඊට අදාළ වන්නේ පහත සඳහන් ඒවාය,

* ජාතික හැඳුනුම්පත
* වලංගු විදේශ ගමන් බලපත්‍රය
* වලංගු රියදුරු බලපත්‍රය
* රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත
* වැඩිහිටි හැඳුනුම්පත
* පූජ්‍ය / පූජක හැඳුනුම්පත
* ජාතික හැඳුනුම්පතෙහි තොරතුරු තහවුරු කිරීමේ ලිපිය
* ආබාධිත පුරවැසියන් සඳහා මැතිවරණ කොමිසම නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පත
* මැතිවරණ කොමිසම අනෙකුත් පුද්ගලයින්ට නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පත

කෙසේ නමුත් මහ මැතිවරණයේ ආරක්ෂක රාජකාරී කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 64,000 යොදවා ඇති අතර, 2024 මහ මැතිවරණයේ ඡන්ද විමසීම නිරීක්ෂණය සඳහා දෙස් විදෙස් නිරීක්ෂකයින් ද එක්වී සිටින බව වාර්තා වේ.

මේ අතර මහ මැතිවරණයට අදාළව ඡන්ද පෙට්ටි සහ සියලුම ලිපිද්‍රව්‍ය නිකුත් කිරීම අද (13) දවස පුරා සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ, පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා මෙම කටයුතු සිදුවන බවයි.

“හෙට දිනයේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන 13,314 සඳහා යොමු කළ යුතු සියලූම නිලධාරීන් සහ ඡන්ද පෙට්ටි, ඡන්ද පත්‍රිකා සහ අනෙකුත් සියලුම ලිපිද්‍රව්‍ය නිකුත් කිරීම අද දිනයේ දී දිවයිනේ පිහිටි පරිශ්‍ර 49ක දී සිදුකරනවා. මැතිවරණ කොට්ඨාස 22ට අදාළව දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ක දී මෙම නිකුත් කිරීමේ කටයුතු සිදුකරනු ලබනවා. අද උදේ 7 සිට එම කටයුතු ආරම්භ කරන අතර සියලුම ඡන්ද මධ්‍යස්ථානවල වැඩකරන කාර්ය මණ්ඩල සඳහා පෙරහුරුවක් සිදුකරනවා.”