අද (06) සිට ලබන සිකුරාදා (09) වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා.

පෙරවරු 9.30 සිට 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇති බව සඳහන්.

අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා විපක්ෂය ‍විසින් ගෙනෙනු ලබන යෝජනාවට අනුව ‘මාතර නිල්වලා ග‍‍ඟ ආශ්‍රිතව ඉදිකර ඇති ලවණ බාධකය හේතුවෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය’ පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.

අගෝස්තු 7 වැනි බදාදා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර තිබෙනවා.

ඉන් අනතුරුව පෙ.ව. 10.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙනෙනු ලබන යෝජනාවකට අනුව ‘වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව’ පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය පැවැත්වෙන බවයි, පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අගෝස්තු 8 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත. අනතුරුව පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත් දෙකක් සඳහා දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇති බව සඳහන්.

අගෝස්තු 9 වැනි සිකුරාදා සම්පූර්ණ දිනය වෙන්ව ඇත්තේ අභාවප්‍රාප්ත හිටපු අමාත්‍යවරයෙකු වූ ගරු රොනී ද මැල් මහතා වෙනුවෙන් ශෝක යෝජනා ඉදිරිපත් කිරීමටයි.

මේ අනුව හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් ශෝක ප්‍රකාශ යෝජනා ඉදිරිපත් කිරීම සදහා එදින පෙ.ව. 9.30 සිට ප.ව. 5.30 දක්වා කාලය වෙන් කිරීමට ද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කෙරුණා.