වත්මන් පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාට ලබා දී ඇති සේවා දිගුව අදින් අවසන් වීමට නියමිතව ඇත.

සී.ඩී.වික්‍රමරත්න මහතා පසුගිය මාර්තු මස 26 වැනිදා විශ්‍රාම යාමට නියමිතව තිබුණ ද ජනාධිපතිවරයා විසින් ඔහුට තවත් මාස තුනක සේවා දිගුවක් ලබා දීමට පියවර ගනු ලැබීය.

ඒ අනුව එම කාල සීමාව අදින් අවසන් වීමට නියමිත වේ.

අදින් පසු නව පොලිස්පතිවරයෙකු පත් කළ යුතුව තිබුණ ද මේ දක්වා ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැත.

ජනාධිපතිවරයා විදෙස්ගතව සිටින බැවින් ඔහු දිවයිනට පැමිණීමෙන් අනතුරුව ඒ පිළිබඳ තීරණයක් ගැනීමට නියමිතය.

පොලිස්පති ධුරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඊට අනුමැතිය හිමිවනු ඇත.

මීළඟ පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන දේශබන්දු තෙන්නකෝන්, නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක, ප්‍රියන්ත වීරසූරිය සහ අජිත් රෝහණ යන මහත්වරුන්ගේ නම් යෝජනා වී ඇති බව සඳහන් වේ.