2010 ජුලි 22වන දා පස්වරුවේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය අතුරු සිදුරු නැතිව පිරී ගොස් තිබුණේ, ශ්‍රී ලංකාවෙන් බිහි වූ ලොව හොඳම දකුණත් පිට දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදන් නම් අසහාය ක්‍රිකට් ක්‍රීඩකයාගේ සමුගැනීමේ තරඟය සියැසින් දැක බලා ගැනීමට පැමිණ සිටි ප්‍රේක්ෂකයින්ගෙන්. ඒ වන විට ඉන්දීය කණ්ඩායමේ අවසන් කඩුල්ල ලෙස පන්දුවට පහර දෙමින් සිටි ප්‍රග්‍යාන් ඔජාගේ කඩුල්ල තීරණාත්මක එකක් වී තිබුණේ, ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා එය දවා ගැනීම අවශ්‍ය වූ නිසා පමණක් නොවේ. ඒ වන විටත්, ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පන්දු යවන්නෙකු ලබා ගත් වැඩිම කඩුළු සංඛ්‍යාවට හිමිකම් කියූ මුත්තයියා මුරලිදරන් කඩුළු 800 වන කඩුල්ල අභිමුව සිටීම හේතුවෙන්. මුරලි යොමු කළ ඔහුගේ ජාත්‍යන්තර ක්‍රීඩා දිවියේ තීරණාත්මක අවසන් පන්දුව පිතිකරුගේ පිත්තේ දැවටී ඉවතට ඇදී ගියද, පන්දු රකිමින් සිටි මහේල ජයවර්ධන දක්ෂ ලෙස එය රැක ගත්තේ ක්‍රිකට් වංශ කතාවේ ටෙස්ට් කඩුළු 800ක ප්‍රථම සහ එකම හිමිකරු බවට මුත්තයියා මුරලිදරන් පත් කරමින්.

අන් කිසිඳු චිත්‍රපට අවසන් දර්ශනයකට (Climax) නොදෙවෙනි එම සිදු වීමෙන් කලකට පසු ක්‍රීඩා ලෝලීන්ට මෙන්ම සිනමා ලෝලීන්ටද අපූරු ආරංචියක් මුරලිදරන් විසින්ම ගෙනැවිත් තිබුණා. ඒ ඔහුගේ ජීවිත කතාව ඇසුරින් චිත්‍රපටයක් නිශ්පාදනය කිරීමට කටයුතු කරන බවට වන ආරංචියයි. M.S. ශ්‍රීපති නම් දකුණු ඉන්දියානු සිනමා අධ්‍යක්ෂකවරයා විසින් තිර රචනය කර අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටය නිල වශයෙන් නිවේදනය කෙරුණේ 2020 වසරේදී. M.S. ශ්‍රීපති ට අමතරව, සම්මානනීය ශ්‍රී ලාංකික කතුවරයෙකු වන ශෙහාන් කරුණාතිලක ද පිටපත් රචනයෙන් දායක වී ඇති මෙම චිත්‍රපටය “800” ලෙස නාම නිවේදනය (Title Announcement) කෙරුණේ දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය සහ අති දක්ෂ නළුවකු වන විජේ සේදුපති, මුරලිදරන් ලෙස පෙනී සිටින Motion Poster එකක් ද සමඟින්. එම ආරංචිය ලොව පුරා ක්‍රිකට් රසිකයින් මෙන්ම සිනමා රසිකයන් ද ඉතා සතුටට පත් කළ නමුත්, එම සතුට වැඩි කලක් නොපැවතියේ තමිල්නාඩුවේ විවිධ දේශපාලන පක්ෂ සහ ජාතිවාදී කණ්ඩායම් මෙම චිත්‍රපටයට විරෝධය දැක්වීමට පටන් ගැනීම හේතුවෙන්. ඔවුන්, මුරලිගේ චරිතය විජේ සේදුපති විසින් රඟ දැක්වීම හෙලා දකිමින් දැඩි විරෝධතාවල නියැලුණේ “දෙමළ ජනතාව ඝාතනය කළ ශ්‍රී ලංකා රජයට පක්ෂපාතීත්වය දැක් වූ ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ චරිතය රඟ දැක්වීම” යන චෝදනාව නගමින්. යුධ සමයේ ආරක්ෂක ලේකම් වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ජනාධිපති සටනට සහාය දැක්වීම වැනි හේතූන් නිසා විරෝධතා කරුවන් දිගින් දිගටම විරෝධතා වල නියැලුණේ විජේ සේදුපතිහට චිත්‍රපටයෙන් ඉවත් වන ලෙස බල කරමින්. ඉන් නොනැවතුන විරෝධතා කරුවන් සේදුපති වෙත මරණීය තර්ජන එල්ල කරන ලද අතර, සහ ඔහුගේ දියණිය දූෂණය කරන බවට පවා තර්ජනය කරන ලද පසුබිමක සේදුපති චිත්‍රපටයෙන් ඉවත් කිරීම හැර අන් විකල්පයක් නිර්මාණ කරුවන්ට තිබුණේ නැහැ.
විජේ සේදුපති පෙනී සිටි First Look පෝස්ටරය

ඔස්කාර් සම්මානය දිනූ Slumdog Millionaire චිත්‍රපටයේ මෙන්ම, සුප්‍රසිද්ධ Million Dollar Arm චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ද නිරූපණය කළ සම්මානනීය ඉන්දීය නළු මධුර් මිත්තල්, “800” චිත්‍රපටයේ මුරලිදරන්ගේ චරිතය සඳහා තෝරා ගැනෙන්නේ ඉන් පසුවයි. මධුර්ගේ රුව රැගත් 800 චිත්‍රපටයේ නව පෝස්ටරය (First Look Poster) මුරලිගේ 51වන උපන් දිනය යෙදී තිබූ මෙම වසරේ අප්‍රේල් 17 දින නිකුත් කිරීමට එහි නිශ්පාදකයින් කටයුතු කර තිබුණේ යටපත්ව තිබූ ප්‍රේක්ෂක උද්යෝගය නැවතත් ඉහළටම ඔසවා තබමින්.

1992 වසරේ සිට වසර 18ක කාලයක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට යෝධ සවියක් වූ මුරලි ටෙස්ට් කඩුළු 800ක් දවා ගෙන ඇත්තේ දවා ගැනීම් සාමාන්‍යය තරඟයකට කඩුළු 6ක් ලෙස තබාගනිමින්. එක් දින කඩුළු 534ක් ද දවා ගෙන ඇති ඔහු උඩපන්දු 200කට අධික ප්‍රමාණයක්ද රැකගෙන තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ තරඟ දිනවන්නකු ලෙස දශක දෙකකට ආසන්න කාලයක් ක්‍රීඩා කළ මෙම අසහාය ක්‍රීඩකයාගේ ගමන් මඟ කිසි විටෙක සුව පහසු එකක් නොවූ බව රහසක් නොවෙයි. ත්‍රස්තවාදී ගැටුම් පැවති සමයක දෙමළ ජාතිකයෙකු ලෙස මුහුණ දීමට සිදුවූ විවිධ සිදුවීම්, LTTE සංවිධානය විසින් කරන ලද බලපෑම්, පන්දුව දමා ගසන බවට විටින් විට එල්ල වූ චෝදනා සහ පාකිස්ථාන් ත්‍රස්ත ප්‍රහාරය වැනි සිදුවීම් මෙන්ම මුරලි විසින් කිසි දින හෙළි නොකරන ලද ඔහුගේ ජීවිතයේ විවිධ සිදුවීම්ද පාදක කරගනිමිනුයි, මුරලිගේ ජීවිත කථාව 800 චිත්‍රපටයට නගා තිබෙන්නේ.
Movie Train Motion Picture සහ Vivek Rangachari නිෂ්පාදනයක් වන “800” චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය එළි දැක්වීම සඳහා ඊයේ දිනයේදී (05) ඉන්දියාවේ මුම්බායි හි විශේෂ උත්සවයක් සංවිධානය කර තිබූ අතර, එම අවස්ථාවට මුරලිගේ සමකාලීන ලෝක පූජිත ක්‍රිකට් විරුවන් දෙදෙනෙකු වන සනත් ජයසූරිය සහ සචින් තෙන්ඩුල්කාර් එක්ව සිටියා. පූර්ව ප්‍රචාරක පටය දෙස බැලීමේදී එය “ලොව ජයගත් ශ්‍රී ලාංකික පන්දුයවන්නෙකු” ගැන කියැවෙන චිත්‍රපටයක් පමණක් නොවන බවට ඉඟි පළ වනවා. ජාතිවාදී කෝලාහල පැවති සමයේ සිදුවීම් සහ මුරලි LTTE සංවිධානය සමඟ සාකච්ඡාවක නිරතවන බව හැඟෙන දර්ශනද එහි ඇතුළත් වන නිසා පූර්ව ප්‍රචාරක පටය සම්බන්ධයෙන් මිශ්‍ර ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. මුරලිදරන්ගේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජයග්‍රහණ උත්කර්ෂයට නැංවෙන ආකාරයේ දර්ශන කිසිවක් එහි අඩංගු නොවීම හේතුවෙන්, විශේෂයෙන් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් තුළ චිත්‍රපටය සම්බන්ධයෙන් දෙගිඩියාවක් මතු වී තිබෙන බව සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබෙන ප්‍රතිචාරවලින් පැහැදිලි වනවා. දෙමළ ජාතිකයෙකු වීම හේතුකොටගෙන මුරලිදරන් හට ගැටළු වලට මුහුණ දීමට සිදු වූවාය යන්න හැඟවෙන ආකාරයක් පූර්ව ප්‍රචාරක පටය තුළ දක්නට ලැබීම නිසා, ජාති භේදයකින් තොරව සෑම අවස්ථාවකම කොන්දේසි විරහිතව මුරලිදරන් වෙනුවෙන් පෙනී සිටි ශ්‍රී ලාංකිකයන්ගේ සිත් රිදීමට හේතු වී තිබෙන බවයි පෙනෙන්නට තිබෙන්නේ.

දෙමළ , හින්දි හා තෙලිඟු භාෂාවලින් මෙම වසර තුළදී ලොව පුරා තිරගත කිරීමට සැලසුම් කර ඇති “800” චිත්‍රපටය තිරගත කරන දිනය පිළිබඳ නිල දැනුම් දීමක් මෙතෙක් සිදු කර නැහැ. ක්‍රිකට් ක්‍රිඩකයින්ගේ චරිතාපදාන පාදක කරගත් චිත්‍රපට සිනමාවේ කොතෙකුත් දක්නට ලැබුණද, ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ චරිතාපදානයක් පාදකකරගනිමින් ඉතිහාසයේ ප්‍රථම වරට නිර්මාණය කෙරෙන මෙම චිත්‍රපටය නැරඹීමට ශ්‍රී ලාංකිකයින් නොඉවසිල්ලෙන් පසුවනවාට කිසිඳු සැකයක් නැහැ. නමුත්, “මුත්තයියා මුරලිදරන්ගේ නොකී කතාව” හෙවත් “800” චිත්‍රපටය ඔබ නැරඹීට බලාපොරොත්තුවන ආකාරයේ එකක් නොවනු ඇති බවටයි අප විශ්වාස කරන්නේ. ඒ නිසා, “මුරලිදරන් නම් ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ක්‍රිකට් ලොව ජය කෙහෙලි නැංවූ ආකාරය පිළිබඳ කතාව” ඔල්වරසන් දෙමින් නැරඹීමට සූදානම් වනවාට වඩා, ක්‍රීඩා චරිතාපදානයක් පාදක කරගත් සිනමා නිර්මාණයක් ලෙස පමණක් “800” රසවිඳීමට සුදානම් වීම සුදුසු බවයි අපගේ හැඟීම.

පූර්ව ප්‍රචාරක පටය

උමේෂ් ද සිල්වා