ශ්‍රී ලංකාවේ කෝපි ලෝකයේ හොඳම කෝපි අතර ප්‍රමුඛත්වය ගන්නා බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට තානාපති Khaled Al Ameri මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සමඟ පවසා ඇත.

මෙරට කෝපි වගාව පුළුල් කිරීම සඳහාත්, අගය එකතු කළ නිෂ්පාදනයක් වශයෙන් ජාත්‍යන්තර වෙළෙඳපොලට හඳුන්වා දීමෙන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගත හැකි බවද තානාපතිවරයා සදහන් කර තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට තානාපතිවරයා සහ කෘෂිකර්ම අමාත්‍යවරයා අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති හමුවකදී මේ බව ප්‍රකාශ කෙරිණි.

කෘෂි අංශ නවීකරණය හා මෙරට කෘෂි නිෂ්පාදන අගය එකතු කළ නිෂ්පාදන වශයෙන් අපනයනය ඉලක්ක කර ගනිමින් සැකසීම සම්බන්ධව රජයේ වැඩ පිළිවෙළ සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී කරුණු ඉදිරිපත් කර ඇත.

එහිදී අදහස් දක්වමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා පැවැසූයේ අරාබි රටවල ශ්‍රී ලංකාවේ කෝපි ඉතා ජනප්‍රිය බවයි. අගය එකතු කළ නිෂ්පාදනයක් වශයෙන් මෙරට කෝපි විදේශ වෙළෙදපොලට හඳුන්වා දෙන්නේ නම් ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගත හැකි බවද එමෙන්ම මෙරටට අවශ්‍ය යුරියා පොහොර හා අනෙකුත් පොහොර ලබා ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය දීමට හැකි බවද තානාපතිවරයා සඳහන් කර තිබේ.