ශ්‍රී ලංකාවේ මූල්‍ය ණය පිළිබඳ අභියෝගවලට ඵලදායී ලෙස මුහුණදීමට සහයෝගය ලබාදෙන බව චීනය යළිත් අවධාරණය කර ඇත.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික විදේශ කටයුතු කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ වෑන් යී මහතා විසින් මේ බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

චීනය ශ්‍රී ලංකාවේ ස්වෛරී ස්වාධීනත්වය සහ ජාතික අභිමානය ආරක්ෂා කරගැනීම සඳහා දැඩි ලෙස සහාය දෙන අතර විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කිරීමට කැමැත්තෙන් පසු වන බව ඔහු ප්‍රකාශ කර තිබේ.

චීනයේ යූනාන් පළාතේ කුන්මින්හී පැවැත්වෙන 07 චීන – දකුණු ආසියානු ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වී සිටින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවු අවස්ථාවේ වෑන් යී මහතා මේ බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

ස්වාධීන සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවට ඇති හැකියාව වැඩි දියුණු කිරීමටත් දරිද්‍රතා උගුලෙන් මිදීමටත් කාර්මීකරණ ක්‍රියාවලිය සහ කෘෂිකාර්මික නවීකරණය වේගවත් කිරීමටත් චීනය උපකාර කරන බව ඔහු එහිදි වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාවට ලබාදෙන ස්ථීර සහයෝගය සහ දුෂ්කර කාලවල දී ලබාදෙන කාලෝචිත සහ ඵලදායී සහය සම්බන්ධයෙන් චීනයට සිය ස්තූතිය පළ කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එහිදි පෙන්වා දී ඇත.