2022 අග භාගය වන විට ඇද වැටී තිබුණු බොලිවුඩ් සිනමාව අන් කවදාවත් නැති විදියට මේ වසරේ ඉතාම සාර්ථක ගමනක යෙදී සිටින බව අපි හැමෝම දන්නා කාරණයක්. චිත්‍රපට කිහිපයක් හැරුණුකොට මේ වසරේ නිකුත් වුණු චිත්‍රපට බහුතරය බොක්ස් ඔෆිස් හි ඉතා සාර්ථක වී තිබීමෙන් ඒ බව පැහැදිලි වෙනවා. මේ වසරේ සාර්ථක වුණු චිත්‍රපට අතර Gadar 2, OMG 2 සහ Dream Girl 2 වැනි චිත්‍රපටත් ඉදිරියෙන්ම සිටි බව පෙනෙන්නට තිබුණා. ඒ වගේම තවත් එවැනි sequels (කොටස්)  කිහිපයක්ම ඉදිරියේ නිෂ්පාදනය කරන්නත්, තිරගත කරන්නත් සූදානම් බව නිවේදනය කර තිබෙනවා. මේ විදියට සීමාවක් නැතිව චිත්‍රපට දිගු වශයෙන් නිෂ්පාදනය කිරීම බොලිවුඩ් අනාගතයට කොහොම වෙයිද? යළි නැගිටින බොලිවුඩ් සිනමාව “දෙකේ, තුනේ” රැල්ලෙන්ම ආයෙත් පල්ලම් බහීවිද?

Film sequels එහෙමත් නැත්නම් පළමු චිත්‍රපටයේම දිගු වශයෙන් චිත්‍රපට නිෂ්පාදනය කිරීම අළුත් දෙයක් නෙවෙයි. හොලිවුඩය දිහා බැලුවත් දශක ගණන් තිස්සේ නිෂ්පාදනය කෙරෙන අති සාර්ථක Film sequels දකින්නට පුළුවන්. 2001 සිට අති සාර්ථකව තිරගතවෙන The Fast and the Furious, 1996 සිට තිරගත වන Mission: Impossible, 1989 සිට සිට තිරගත වන Batman විතරක් නෙවෙයි 1962 සිට තිරගත වන James Bond චිත්‍රපට මාලාව පවා ඉතා සාර්ථක චිත්‍රපට මාලාවන් විදියට හඳුන්වන්න පුළුවන්.

ඒ වගේම sequels, series වලින් එහාට ගිහින් එකකට එකක් සම්බන්ධ චිත්‍රපට සහ TV සහ Web කථා මාලා අතර පවා විහිදෙන Godzilla, Star wars වගේ Cinematic Universes වගේම එයිනුත් ඔබ්බට ගිහින් Marvel සහ DC වගේ සංකීර්ණ Multiverses පවා ලෝක සිනමාව තුළ නිර්මාණය වී අවසන්.

එක් චිත්‍රපටයකට ලඝු කරන්නට නොහැකි වීම නිසාත්, දැනටමත් කොටස් වශයෙන් නිර්මාණය වී ඇති කථාවක් සිනමාවට නැගීම නිසාත් sequels නිර්මාණය කිරීම ගැටළුවක් නොවුණත්, බොලිවුඩයේ ජනප්‍රිය වී තිබෙන්නේ යම් චිත්‍රපටයක් සාර්ථක වුවහොත් එය කොටස් වශයෙන් ඉදිරියට ගෙන යාමයි. එහෙමත් නැතිනම් යම් නළුවෙක් නිළියක් හෝ අධ්‍යක්ෂක වරයෙක් ක්ෂේත්‍රයට පිවිසීමට සාර්ථක නිර්මාණයක දිගුවක් (sequel) හෝ ප්‍රති නිර්මාණයක් (Re Creation) කිරීමයි. බොලිවුඩ් සිනමාව දැවැන්ත පසුබෑමක ලක්වූ සමයේ එම පසුබෑමට ද ඉවක් බවක් නොමැතිව සාර්ථක චිත්‍රපටයක එල්ලී ගොඩයාමට තැත්කළ ඇතැම් චිත්‍රපටවල දිගු ද විශාල දායකත්වයක් දක්වා තිබුණා. Student of the Year 2 (2019), Sadak 2 (2020), Love Aaj Kal (2020), Hungama 2 (2021) Satyameva Jayate 2 (2021), Ek Villain Returns (2022), Heropanti 2 (2022) වැනි චිත්‍රපට එලෙස බොක්ස් ඔෆිස් හි අසාර්ථක වූ චිත්‍රපට ලෙස හඳුන්වා දෙන්නට පිලිවන්.

එමෙන්ම යම් චිත්‍රපටවල දෙවැනි, තෙවැනි කොටස් බොක්ස් ඔෆිස්හි අසාර්ථක නොවූවද සෘණාත්මක රසික ප්‍රතිචාර ලබමින් ආදායම් ඉපයීමේ පැහැදිලි පසු බැසීමක් පෙන්වා තිබුණා. බොලිවුඩයේ අති ජනප්‍රිය නළු නිලියන් රැසක් රඟපෑ Race 3 (2018), Housefull 4 (2019) මෙන්ම ආදායම් වාර්තා තබමින් තිරගත වූ සල්මාන් ඛාන් රඟපෑ Dabangg (2010) චිත්‍රපටයේ තුන්වැන්න වූ Dabangg 3 (2019) ද වාර්තා වූයේ එම චිත්‍රපට මාලාවේ අවම ආදායමක් ලද චිත්‍රපටය ලෙසයි.

2001 වසරේ තිරගත වූ ඉන්දියානු සිනමා ඉතිහාසයේ සංධිස්ථානයක් ලෙස හැඳින්විය හැකි Gadar චිත්‍රපටයේ දෙවැන්න වූ Gadar 2 ද එහි මුල් චිත්‍රපටයට මුවා වී සාර්ථකත්වය සොයා පැමිණි චිත්‍රපටයක් ලෙසයි අප දකින්නේ. කාලයක් තිස්සේ රිදී තිරයේ අසාර්ථක වූ සනී ඩියෝල් සහ අමීෂා පටේල් සමඟ අධ්‍යක්ෂවරයාගේ පුත් උත්කර්ෂ් ශර්මා නැවතත් සිනමාවට රැගෙන ඒමට (come back) දියත් කළ උත්සාහයක් ලෙස පෙණුනු නමුත්, අතීතකාමය සහ ජාත්‍යාලය යන ඉන්දියානුවන්ගේ අති සංවේදී “නිල” හොඳින් අල්ලාගන්නට සමත් වූ Gadar 2 චිත්‍රපටය 2023 බොලිවුඩ් සිනමාව ලද පිබිදීමත් සමඟ සාර්ථකත්වය ලැබූ බව විශ්වාස කළ හැකියි. ප්‍රවීණ නළු නස්රුද්දීන් ශාහ් පවා Gadar 2 චිත්‍රපටය විවේචනය කර තිබුණේ “අනවශ්‍ය ලෙස තවත් ප්‍රජාවක් හෙලා දැකීමට සලස්වන මෙවැනි නිර්මාණ ජනප්‍රිය විය හැකි නමුත් ඉන් ලැබෙන ප්‍රතිවිපාක භයානක විය හැකි බව” පවසමින්.

එමෙන්ම Dream Girl 2 චිත්‍රපටයද එහි ප්‍රධාන නිලිය ලෙස චරිත නිරූපණය කළ ප්‍රවීණ නළු චන්කි පාණ්ඩේ ගේ දියණිය වූ අනන්‍යා පාණ්ඩේ ක්ෂේත්‍රය තුළ ස්ථාවර කිරීමට ගත් උත්සාහයක් යන ප්‍රශ්නාර්ථය ඉතිරි කළ චිත්‍රපටයක් වුණා. Dream Girl (2019) චිත්‍රපටයේ ප්‍රධාන නිලිය ලෙස දක්ෂ රංගනයක නිරත වූ නුශ්රත් භාරුචා හේතුවකින් තොරව ඉවත් කොට අනන්‍යා වැනි නිලියක යොදා ගැනීමත් චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු සඳහා චන්කි පාණ්ඩේ පෙනී සිටීමත් එම සැකය තහවුරු කළා. ආයුෂ්මාන් කුරාණා ඇතුළු මුල් චිත්‍රපටයේ නළු නිලි පිරිසගේ රංගනය සහ තිර පිටපතේ සාර්ථකත්වය හේතුවෙන් බොක්ස් ඔෆිස් හි සාර්ථක වූ Dream Girl 2 හි අනන්‍යාගේ දුර්වල රංගනය කැපී පෙනීම නොවැළැක්විය හැකි වුණා.

නමුත්, OMG 2 චිත්‍රපටය එහි මුල් චිත්‍රපටයට වෙනස් තේමාවක් පදනම් කරගෙන නිර්මාණය වූවක් ලෙස දක්නට ලැබුණු අතර, චිත්‍රපටයේ සාකච්ඡා කෙරෙන මතය වෙනුවෙන්ම පෙනී සිටි නිර්මාණයක් ලෙස හදුන්වා දෙන්නට පුළුවන්. මුල් නිර්මාණයේ සාර්ථකත්වය අභිබවා ගිය OMG 2 සෑම අතින්ම සාර්ථක දිගුවක් (sequel) ලෙස අවිවාදයෙන් හඳුන්වා දෙන්නට පුළුවන්.

චිත්‍රපටයක් ආදායම් ඉපයීමෙන් සාර්ථක වූ පසු එහි දිගුවක් නිර්මාණය කිරීම කිසිසේත් ගැටළුවක් නොවන නමුත්, පළමු නිර්මාණයට මුවා වී අඩු ගුණාත්මකභාවයකින් යුතු නිර්මාණයක් ඉදිරිපත් කිරීම හෝ සාර්ථක නිර්මාණයක දිගුවක් නිර්මාණය කර ක්ෂේත්‍රය තුළ කිසිවෙකුගේ ස්ථානයක් රැක ගැනීමට භාවිතා කිරීම නම් බොලිවුඩයේ අනාගතයට එතරම් යහපත් නොවනු ඇති බවයි අප විශ්වාසකරන්නේ.

කෙසේ වෙතත්, Tiger 3 (2023), War 2 (2024) වැනි අති සාර්ථක වූ  චිත්‍රපට රැසක sequels නුදුරේදීම තිරගත කිරීමට පෙළ ගස්වා ඇති අතර, Hera Pheri 3, Singham 3, Bhool Bhulaiyaa 3, Aashiqui 3, Dostana 2, Bhediya 2  වැනි ජනප්‍රය චිත්‍රපට රැසක දෙවැනි හෝ තෙවැනි කොටස් නිෂ්පාදන මට්ටමේ පවතින බවද වාර්තා වනවා. Krrish 4 සහ Don 3 චිත්‍රපටද පූර්ව නිෂ්පාදන මට්ටමේ පවතින පසුබිමක මෙම වසරේ නිකුත් වූ Pathaan පමණක් නොව තවමත් සාර්ථකව තිරගත වන Jawan චිත්‍රපටයේද දෙවැනි කොටස් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බව නිල වශයෙන්ම නිවේදනය කර තිබෙන්නේ එම චිත්‍රපට ලද අසීමිත සාර්ථකත්වය හේතුවෙන් පමණක් බව පැහැදිලි කරුණක්. එහි කිසිඳු ගැටළුවක් නොමැති වුවත්, යම් හෙයකින එවැනි සාර්ථක චිත්‍රපටවල sequels ගුණාත්මක ලෙස නිර්මාණය කිරීමට අපොහොසත් වුවහොත් “සංවේදී ඉන්දියානු රසිකයින්” නැවතත් අපේක්ෂාභංගත්වයට පත් වීම නොවැළැක්විය හැකි වනු ඇති අතර, නැවත හිස ඔසවමින් සිටින බොලිවුඩයට ඉන් සිදු වන පාඩුව තවත් කාලාන්තරයකට පියවා ගත නොහැකි වනු ඇති බව නම් කිව යුතුමයි.

උමේෂ් ද සිල්වා