12වැනි ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාවලියේ බෲනායි පිලට එරෙහිව මූලික වටයේ අද පැවැති තරගයෙන් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
මෙම තරගයේදී 19-06, 22-03, 20-03 සහ 21-04 ලෙස තරග වට 04ම ජයගත් ශ්‍රී ලංකාව ලකුණු 82-16ක් ලෙස තරගයේ ජය අත්කර ගත්තේය.

ශ්‍රී ලංකාව ඔවුන්ගේ අභියෝගාත්මක තරගය වන සිංගප්පූරුව සමග හෙට (13) තරග වැදීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු තරගයේදී දකුණු කොරියාව ලකුණු 94-08ක් ලෙස පරාජයට පත් කළේය.

“පළමු තරග දෙකම අපි ලේසියෙන් දිනුවා. ඒත් සිංගප්පූරුව තමයි ආසියාවේ අංක 02 කණ්ඩායම. 2019 පැවැති අවසන් තරගාවලියේදී අපි සිංගප්පූරුවට පැරදුණා. ඒ නිසා මේ තරගය ජයගෙන ශ්‍රී ලංකාවට අපේ කාණ්ඩයේ පෙරමුණ ගැනීමේ හැකියාව තියෙනවා. එහෙම වුණොත් අවසන් පූර්ව තරගයේදී වාසිදායක කණ්ඩායමක් සමග තරග කිරීමට අවස්ථාව ලැබෙනවා” යනුවෙන් ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු පුහුණුකාරිණී අමල්කා ගුණතිලක මහත්මිය පැවසුවාය.

ශ්‍රී ලංකාව මූලික වටයේ අවසන් තරගයට අනිද්දා (14) චීන තායිපේ කණ්ඩායම සමග තරග වැදීමට නියමිතය.
ආසියානු කලාපයේ රටවල් 11ක සහභාගිත්වයෙන් ආසියානු නෙට්බෝල් සංගමය විසින් පවත්වනු ලබන මෙම තරගාවලිය ජුනි 17වැනිදා දක්වා දකුණු කොරියාවේදී පැවැත්වේ.