ශ්‍රී ලංකාව බංකොලොත් වුණ රටක් නොවන බවත් ශ්‍රී ලංකාව බංකොලොත් කරපු රටක් බවත් එමෙන්ම රට බංකොලොත්භාවයෙන් නිදහස් වුණ බව ආණ්ඩුව කියනවානම් ඒ බව නිවැරදි තොරතුරු මත සනාථ කර පෙන්විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි පවසයි.

අද (26) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මේ බව පැවසීය.

ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී ණයෙන් කොටසක් කපා හරිනවානම්, ණය පොලිය කපා හරිනවානම්, පොලි ප්‍රතිශතය අඩු කරනවා නම් එය සුභ ආරංචියක් බවත් එසේ සිදු නොවුනහොත් රටට එය සුභ වන්නේ නැති බවත් එම කරුණු තුන ඉටු නොවුනහොත් ශ්‍රී ලංකාවට බංකොලොත්භාවයෙන් ගැලවෙන්න නොහැකි වන බවත් හෙක්ටර් අප්පුහාමි එහිදී පැවසීය.

ඒ වගේම ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනේදී ණයෙන් කොටසක් කපා හැරීමට, ණය පොලිය කපා හැරීමට, පොලි ප්‍රතිශතය අඩු කිරීමට ඉදිරියේදී බිහිවන සමගි ජනබලවේග ආණ්ඩුව තුළින් කටයුතු කරන බවත් ඒ සඳහා වැඩපිළිවෙළක් සමගි ජනබලවේගය සකස් කර තිබෙන බවත් ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් ගොඩගන්න පුලුවන් එකම දේශපාලන පක්ෂය සමගි ජනබලවේගය පමණක් බවත් හෙක්ටර් අප්පුහාමි තවදුරටත් පැවසිය.