යේමනයේ හවුති සටන්කාමීන්ගෙන් තර්ජන එල්ල වන බැවින්, රතු මුහුදේ වෙළෙඳ නාවික කටයුතු සඳහා විශේෂ ආරක්ෂාවක් සැපැයීමට, ඇමෙරිකාව ප්‍රමුඛ රටවල් 10 ක් අත්වැල් බැඳගෙන සිටින බව ඇමෙරිකන් ආරක්ෂක ලේකම් ලොයිඞ් ඔස්ටින් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

පසුගිය සති කීපය පුරාවට ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන්, රතු මුහුදේ නැව්වලට පහර දෙමින් බාධා කරන්න විය.

ඒ, ඊශ්‍රයල හමාස් අර්බුදයේ දී, ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් පලස්තීන මුස්ලිම් වැසියන් මියයෑමට විරෝධය දක්වමිනි.

රතු මුහුදේ වෙළෙඳ නැව්වලට ආරක්ෂාව ලබාදීමට ඇමෙරිකාව සමඟ අත්වැල් බැඳගෙන සිටින රටවල් අතරට බහරේනය, කැනඩාව, සීෂෙල්ස්, එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ඉතාලිය ද අයත් වෙයි.