සිය පියාට අයත් යතුරුපැදියෙන් මිතුරෙකු සමග අසල වෙළඳසලක් වෙත ගිය 16 හැවිරිදි සිසුවෙකුට පොලිසිය විසින් කළ ම්ලේච්ඡ පහරදීමක් නිසා එම සිසුවා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

මෙම පහරදීම සිදුකර ඇත්තේ පයාගල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් බව වාර්තා වන අතර මෙම සිසුවා සමඟ ගිය මිතුරා හෙල්මටයක් නොමැතිව යතුරුපැදියේ ගමන් කර ඇත. එහිදී පොලිස් නිලධාරීන් ඔහු හඹා විත් ඇති අතර පසුව යතුරුපැදිය නවතාගත් නිලධාරීන් ඔවුන්ට බැණ වදිද්දී බියට පත් සිසුවා අසල ඥාති නිවසකට යතුරුපැදිය ගෙන යෑමට උත්සාහ කිරීමේදී මෙම නිලධාරීන් සිසුවාගේ කණට පහර ගණනාවක් එල්ල කර තිබේ. පසුව ඔහු බිම ඇද වැටුණ පසු බූට් සහිත පයින් පාගා ඇති බවද සඳහන්.

පහර කෑ සිසුවා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු එහි නේවාසිකව ප්‍රතිකාර ලබයි. මේ සිදුවීම සම්බන්ධයෙන් ඔහුගේ පියා කළුතර ජ්‍යේෂ්ට පොලිස් අධිකාරි කාර්‍යාලයට පැමිණිලි කර ඇති බව සඳහන්.