ශ්‍රී ලංකාවේ ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ අවසන් එකඟත්වයට පැමිණීම රටට ආදරය කරන සියලු දෙනාට සුබ ආරංචියක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
රට මුහුණදී ඇති අභියෝගය සැබෑ ලෙසම තේරුම්ගෙන ඊට ප්‍රායෝගික විසඳුම් ලබා දී ප්‍රතිඵල පෙන්වූ තමන් සමඟ එක්වී රට ඉදිරියට ගෙනයනවාද? එසේ නැත්නම්, තවමත් ප්රශ්නය තේරුම් ගෙන නැති, අඳුරේ අතපත ගාමින් බලය වෙනුවෙන් වෙහෙසෙන කණ්ඩායම් සමඟ එක් වෙනවාද යන්න රටේ ජනතාව තීරණය කළයුතු බවද ජනාධිපතිවරයා එහිදී පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපතිවරයා පැවසුවේ,
“අද අපේ රටට වැදගත් දවසක්. ද්වි පාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අද අවසන් කරමින් අවසන් එකඟත්වයකට එළඹුණා. චීනයේ එක්සිම් බැංකුව සමගත් අවසන් එකඟත්වයකට පැමිණියා. මේ එකඟතාවයන් සමග විදේශ රටවල සියලු ද්විපාර්ශ්වික ණය වාරික ගෙවීම 2028 වසර දක්වා කල් දමාගැනීමට අපට හැකිවෙයි. ඉන්පසු සහනදායි කොන්දේසි මත සියලු ණය ගෙවා අවසන් කරන්න 2043 දක්වා දිගු කාලයක් ලබා ගන්නත් අපට අවස්ථාව ලැබේවි.
ඊළඟට තියෙන්නේ විදේශීය බැදුම්කර හිමියන් ද ඇතුළත් වාණිජ ණය හිමියන් සමග එකඟතාවයකට එළඹීම. ඒකට මේ මාර්ගයේම ඉදිරියට යා යුතුයි. 2022 වසරේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.2%ක ප්‍රමාණයක් විදේශ ණය ගෙවීම සඳහා වැය කිරීමට අපට සිදුවුණා. 2027 සිට 2032 දක්වා ණය ගෙවීම දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5% කටත් අඩු ප්‍රමාණයක් පවත්වාගෙන යෑමට දැන් ඉඩ සැලසෙනවා. 2022දී රජයේ වාර්ෂික දළ මූල්‍ය අවශ්‍යතා දළ දේශීය නිෂ්පාදිතයෙන් 34.6%ක්. මේ එකඟතා නිසා එය 2027 සහ 2032 කාලය වෙද්දී එය 13%කට වඩා අඩු වෙයි.
2022 අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාව ණය වෙන්න බැරි බව නිල වශයෙන් ප්‍රකාශ කළා. මේ මත අපේ රටේ ක්‍රියාත්මක වූ සියලු ව්‍යාපෘති නැවතුණා. සංවර්ධන කටයුතු නැවතුණා. දැන් විදේශ අරමුදල් යොදවාගෙන ඒ සියලු ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට හැකි වෙනවා. කටුනායක ගුවන්තොටුපොළ සංවර්ධනය, සැහැල්ලු දුම්රිය මාර්ගය, අධිවේගී මාර්ග ව්‍යාපෘති ගණනාවක් ආරම්භ වෙනවා.
අපට යන්න තිබෙන්නේ වැල් පාලමේ ගමනක් බව මම මතක් කළා. එදා බොහෝ දෙනෙක් බය වුණා. රට මේ අර්බුදයෙන් බේර ගන්නා වැඩ සැලැස්මක් මට තිබුණා. යමක් ආරම්භ කිරීමේ නිවැරදි ක්‍රමය කයිවාරු නොගසා වැඩේට අත ගැසීම. සිව් වැදෑරුම් වැඩපිළිවෙලේ මුල් කරුණු 3ම දැන් සාර්ථකව ඉදිරියට ගමන් කරනවා. මේ මාර්ගයේ ගියොත් 4 වන කරුණ වන 2040 වන විට සංවර්ධිත දේශයක් කරා යාහැකි බව දැන් පැහැදිලි වෙනවා. ප්‍රතිඵල පෙන්වූ මා සමග ඉදිරියට යනවාද ? නැතිනම් මාර්ගය වෙනස් කරනවාද ?. නිවරැදි තීරණය ගන්න. ඔබ ගන්නා තීරණයෙන් තීරණය වෙන්නේ රනිල් වික්‍රමසිංහගේ අනාගතය නෙමෙයි. රටේ අනාගතය.
මම මෙතෙක් ආරක්ෂිතව ලංකාව කියන දරුවාව වැල් පාලමෙන් ඉදිරියට රැගෙන ආවා. වැල් පාලමෙන් එගොඩ වෙන්න කලින් දැන් දරුවාව ලබාගන්න ගොඩක් අය වෙහෙසෙනවා. දරුවාව දෙපැත්තට අදිනවා. ඒත් දරුවාව සැබැ මව් ගුණය ඇති අම්මාට ලැබෙනවා.” බවයි.