ජනාධිපතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස එක්සත් ජාතික පක්ෂය ජාතික මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සමඟ අද පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කර ඇත.

මෙහිදී, ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයෙන් හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් (SLPP) තරග කරන්නේ දැයි මාධ්‍යවේදියෙකු විමසූ පැනයකට පිළිතුරු දෙමින් රංගේ බණ්ඩාර මහතා පවසා ඇත්තේ ජනාධිපතිවරයා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කරන බවයි.

මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එක්සත් ජාතික පක්ෂය සිය ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන බවද පාලිත රංගේ බණ්ඩාර මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.