ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් මේ වන විට නව දිල්ලි නුවරදී පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසා ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනයකට අනුව දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (20) ඉන්දියාව බලා පිටත්ව ගියේය.

ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා සමග සාකච්ඡා පැවැත්වූ අතර අද (21) පෙරවරුවේ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා ද හමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කර ඇත.

මේ අතර ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි මහතා සමග ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සාකච්ඡා පවත්වා තිබේ.

කොළඹ වරාය බටහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය හා සුළං බලාගාර ව්‍යාපෘති ඇතුළු අදානි සමාගමේ මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ශ්‍රි ලංකා ජනාධිපතිවරයා හමුවීමට ලැබීම ගෞරවයක් බවත් එම හමුවේ දී ශ්‍රි ලංකාවේ ආකර්ෂණීය ව්‍යාපෘති මාලාවක් පිළිබඳව සාකච්ඡා කිරීමට හැකිවූ බවත් ගෞතම් අදානි මහතා සිය ටිව්ටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.