මේ වනවි​ට රාජපක්ශවරු සීසීකඩ විසිරී ඇති බවත්, ජනාධිපතිවරණයට තරඟකිරිම නිශ්චිතව කීමට නොහැකි මට්ටමට පොහොට්ටුව ඇද වැටී ඇති බවත්, රාජපක්ශවරුන්ගෙ හිතැති පිරිස් රනිල් වික්‍රමසිංහගේ සරණ යන බවත් ජනතා විමුක්ති පෙරමු​ණේ ප්‍රධාන ලේකම්, ජාතික ජන බලවේගයේ විධායක සභික ටිල්වින් සිල්වා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කලේ ඊයෙ ජාතික ජන බලවේගයේ බත්තරමුල්ලේ පක්ශ කාර්යාලයෙ ඊයේ(23) පැවති මාධ්‍ය හමුවකදියි.

එහිදි අදහස් ප්‍රකාශ කරමින් ටිල්වින් සිල්වා කියා සිටියේ,

“මැතිවරණය ආසන්න වෙද්දී මෙතෙක් බලයේ සිටි කණ්ඩායම් විවිධ අසත්‍ය, විකෘති තොරතුරු මෙන්ම මඩ අවලාද මුදා හරිමින් සිටිනවා. තව පැත්තකින් ජනතාව අතර, ඡන්දය තියයිද දන්නෑ යනුවෙන් දෙගිඩියාවක් නිර්මාණය කරමින් යනවා. රනිල් වික්‍රමසිංහ ඇතුළු ඡන්දයට බය සියලු දෙනා ජනාධිපතිවරණය මඟහැර යන්න විවිධ ක්‍රියාමාර්ග ගැන සිතමින් සිටිනවා. මුලින් මහා මැතිවරණයක් පවත්වන්න, රනිල් වික්‍රමසිංහට තව අවුරුදු දෙකක් දෙන්න, ව්‍යවස්ථාවේ වගන්තිවලින් රිංගලා යන්න ආදී වශයෙන් විවිධ දේවල් සිතමින් සිටිනවා. මීට කලින් කවදාවත් ඔවුන්ගේ පැත්තෙන් ඡන්දය මඟහැර යන්න මේ වගේ උත්සාහයන් දරලා නැහැ. රනිල් වික්‍රමසිංහලා, සජිත් ප්‍රේමදාසලා මැතිවරණය මඟහැර යන්න කිසිම ඉඩක් නැති නිසා ජාතික ජන බලවේගයට අවලාද නගමින් සිටිනවා. හැටනව ලක්ෂයක් ඡන්දය අරගෙන බලයට ආව රාජපක්ෂලාගේ කණ්ඩායම සීසීකඩ ගිහිල්ලා. ජනාධිපතිවරණය අත ළඟ තියෙද්දී එයට තරග කරනවාද නැද්ද කියලා නිශ්චිතව කියන්න බැරිතරමට එය බිඳවැටිලා. පොහොට්ටුවේ නායකයෝ පිරිසක් රනිල් එක්ක, තව පිරිසක් මහින්ද එක්ක ඉන්න අතරේ තව පිරිසක් හතරවටේ ඇවිදිනවා. රාජපක්ෂලාගේ බොහෝ දෙනා රනිල්ගේ සරණ යන්න පෙළඹී සිටිනවා. ඒ අයගෙන් තවත් පිරිසක් අන්තිම මොහොතේ සල්ලි ටිකක් සොයා ගන්න බලනවා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති බලය යොදාගෙන මහජන මුදල් වැයකරමින් සදාචාර විරෝධී සහ මැතිවරණ නීතිවලටත් විරුද්ධ කටයුතු කරමින් සිටිනවා. මන්ත්‍රීවරුන්ට කෝටි ගණන් ප්‍රතිපාදන වෙන්කරලා ජනතාවට හාල් කිලෝ දහයක් දෙමින් යනවා. මේ මොහොතේත් අපේ රටේ මැතිවරණ නීතිය ක්‍රියාත්මක වන, පළාත් පාලන මැතිවරණයට අදාළ තත්වයක් තිබෙන්නේ. ඒ වගේම පක්ෂයේ නම සමගි ජන බලවේගය වුණත් සමගියක් ඇත්තේම නැති බව ෆොන්සේකා මහතාගේ පාර්ලිමේන්තු කතාවෙන් තහවුරු කළා. බඩු බෙදන්න, කොමිස් ගහන හැටි හෙළි කළා. තවත් සමහර පිරිසක් රෑට රෑට රහස් සාකච්ඡාවල සිටිනවා. හර්ෂ ද සිල්වා ඇතුළු බලගතු ආර්ථික කණ්ඩායමක් සිටින බව කීවත් සජිත් ප්‍රේමදාස ආර්ථික උපදේශකයන් පත්කරගෙන සිටිනවා. සජිත් ප්‍රේමදාසලාට, රනිල් වික්‍රමසිංහලාට සහ රාජපක්ෂලාට මහජන සහයෝගය එකතු කර ගන්න බැරි වී සිටින අතර, ජාතික ජන බලවේගය රට තුළ වගේම ජාත්‍යන්තරවත් විශාල සහයෝගයක් ලබාගනිමින් ඉදිරියට යමින් සිටිනවා. සියලු බලවේගය මාලිමාව එක්ක එක්තු වෙමින් ඉදිරියට යන අවස්ථාවේ රාජපක්ෂලා, රනිල්ලා, සජිත්ලා සියලු දෙනාම එක්වී ජාතික ජන බලවේගය ඉලක්ක කරගෙන ඉතාමත් කැත මඩ ගැසීමේ සහ විකෘති කිරීමේ ව්‍යාපාරයක් ගෙනයනවා.

අවලාදයක් ගැහුවොත් මඩක් ගැහුවොත් උත්තර දෙන්න ලේසි වුණත් විකෘති කිරීම් බරපතළ මට්ටමකින් කරගෙන යනවා. අවුරුදු 76ක් තුළ තමන්ව පීඩාවට පත්කළ ක්‍රමයට එරෙහිව ජනතාව පෙළගැසීම වළක්වන්න අවලාද, මඩ සහ සත්‍යය විකෘති කිරීම් ගෙනයාම සම්පූර්ණයෙන් පරාජය කරන්න ජනතාව අවබෝධයෙන් පෙළගැසෙන්න ඕනෑ. මාලිමාව සහ රනිල් අතර, ඩීල් එකක් තිබෙන බවට අසත්‍ය ප්‍රචාරයක් ගෙනයනවා. රනිල් එක්ක ඩීල් දාලා අපට බේරා ගන්න තිබෙන්නේ මොනවාද? පළාත් පාලන මැතිවරණය කල් දැමුවේ මාලිමාව දිනන නිසයි. සමුපකාර ඡන්ද පවා කල්දාලා අපේ ගමන වළක්වන්න උත්සාහ කරනවා. නමුත් ඇත්ත ඩීල් තියෙන්නේ රාජපක්ෂලා සහ වික්‍රමසිංහ අතරයි. සමගි ජන බලවේගයේ නායකයන් රනිල් එක්ක යන්න සාකච්ඡා පවත්වනවා. රෑට රනිල් එක්ක, ඉදිරි දේශපාලනය ගැන සැලසුම් කරන ඔවුන් මාධ්‍ය ඉදිරියට ඇවිත් මාලිමාව රනිල් සමග ඩීල් ඇති බව කියනවා. සමගි ජන බලවේගයේ ප්‍රබලයෝ 19ක් මේ වන විටත් රනිල් වික්‍රමසිංහගෙන් විමධ්‍යගත අරමුදල් ලබාගෙන තිබෙනවා. අනෙක් කිසිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට නොදුන් විමධ්‍යගත අරමුදල් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට ලබාදී තිබෙනවා. ඒ විතරක් නොවෙයි වයින් ස්ටෝර්ස් බලපත්‍ර වගේම සල්ලිත් අරගෙන ඔවුන් ඔක්කොම එකට ඉඳිමින් ජාතික ජන බලවේගයේ ගමන නවත්වන්න අශුද්ධ සන්ධානයක් ගොඩනඟාගෙන ජාතික ජන බලවේගයට එරෙහිව ප්‍රහාර එල්ල කරනවා. මාලිමාව ලබන ජයග්‍රහණයත් එක්ක ප්‍රසිද්ධියේම බොරු කියන්නත් පටන්ගෙන තිබෙනවා..” බවයි.