රිලා ගහනය පාලනය කිරීම සඳහා ගැහැනු රිලා සතුන්ට ලූපයක් දැමීම කෙරෙහි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ අවධානය යොමුව ඇත.

මේ වන විට රිලා ගැහැනු සතුන්ගේ ඩිම්බ කෝෂවල ප්‍රමාණයන් ඇතුළු ලිංගික ප්‍රදේශය පිළිබඳ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් අධීක්ෂණය කරමින් සිටින බව පශු වෛද්‍ය අංශයේ මහාචාර්ය අතුල දන්ගොල්ල සඳහන් කර තිබේ.

රිලා ගහනය අවම කර ගැනීම සඳහා ගැහැනු සතුන්ට වඳ සැත්කම් කිරීමට විශාල මුදලක් වැය වන බව ත් ඒ සඳහා සැලකිය යුතු කාලයක් ගත වන බව ත් පෙන්වා දෙන මහාචාර්යවරයා රිලා ගැහැනු සතුන් අල්ලා උන්ට ලූපයක් පැළඳවීම පහසු හා වියදම් අඩු කටයුත්තක් යැයි ද පවසා ඇත.

රිලවුන් සඳහා භාවිත කළ යුතු ලූපය අලුතින් ම නිර්මාණය කළ යුත්තක් බැවින් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට හා නිෂ්පාදනය සඳහා දානපතියෙකුගේ හෝ පරිත්‍යාගශීලියෙකුගේ සහය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම ප්‍රකාශ කර තිබේ.

රිලවුන්ගෙන් වගාවට සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා ගොවීහු වායු රයිෆල්වලින් වෙඩි තැබීම හේතුවෙන් මොළයට, ඇසට දරුණු තුවාල සිදුවූ රිලවුන්ගේ සංඛ්‍යාව ද ඉහළ යමින් සිටින බැවින් රිලා ගහනය පාලනය කර ගැනීමෙන් එම සතුන්ගේ ජීවිතවලට ද සිදුවන හානිය අවම කර ගත හැකි බවද මහාචාර්යවරයා පෙන්වා දී ඇත.