මහරගම අපේක්ෂා රෝහලේ ඉදි කෙරුණු ළමා වාට්ටු සංකීර්ණය හෙට (03) උදෑසන විවෘත කිරීමට නියමිතව තිබෙනවා.
රුපියල් කෝටි 16කට ආසන්න මුදලක් වැයකොට, මහල් 4කින් සමන්විත මෙම වාට්ටු සංකීර්ණය ඓතිහාසික රුහුණු මහා
කතරගම දේවාල අරමුදලින් ඉදිකර තිබෙනවා.
මෙහි මහල් දෙකක රෝගී දරුවන් 76 දෙනකුට අවශ්‍ය සුවපහසු ඇඳන්, නවීන සනීපාරක්ෂක උපකරණ සහිත වැසිකිළි කැසිකිළි පහසුකම්, දරුවන්ගේ දෙමව්පියන් සඳහා වැසිකිළි කැසිකිළි පහසුකම්, රෝගී දරුවන් රැකබලා ගන්නා මව්වරුන්ට නිදාගැනීම සඳහා විශේෂ ඇඳන් ද ස්ථාපිත කර තිබෙනවා.
එසේම රෝගී දරුවන්ට අවශ්‍ය ආහාර, අවශ්‍ය පරිදි ඔවුන්ගේ මව්වරුන්ට පිළියෙළ කර දියහැකි විශේෂ මුළුතැන්ගෙයක් ද මෙහි ඉදිකර ඇති අතර නවීන තාක්ෂණයෙන් සමන්විත පරිගණකගත කළ විද්‍යාගාරයක්, පුස්තකාලයක්, කුඩා ළමා උයනක් ද එහි ඉදිකර ඇති බව සඳහන්.
එමෙන්ම දරුවන් සිව් දෙනකුට එකවර ඇටමිදුළු බද්ධ කිරීමේ ප්‍රතිකර්ම සිදුකළ හැකි පරිදි ඊට අවශ්‍ය ශල්‍යාගාර හතරක් ද මෙහි පිහිටුවා තිබෙනවා.
මෙම රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් පිරිසකගේම අතින් මෙම වාට්ටු සංකීර්ණය විවෘත කිරීමට නියමිතයි.
මාස 11ක් වැනි කෙටි කාලයක් තුළ මෙම ඉදිකිරීම් නිම කිරීමට හැකිවීම ද විශේෂත්වයක්.
රුහුණු කතරගම දේවාලයෙහි බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා සඳහන් කරන්නේ බැතිමතුන් විසින් කතරගම දෙවියන් වෙනුවෙන් දේවාලයට පුද කළ මුදලින් සිදුකළ හැකිවූ ලොකුම පින්කම මෙය බවයි.
කතරගම දේවාලය මගින් මෑත ඉතිහාසයේ බැතිමතුන්ගේ පඬුරු ආධාර මුදල් උපයෝගී කොටගෙන සිදු කළ විශේෂ සමාජ සත්කාරය මෙය වන අතර කිසිදු දේශපාලඥයෙකුගේ සහභාගිත්වයෙන් තොරව විවෘත කරනු ලබන මෙම ව්‍යපෘතියේ ශ්‍රමදායකත්වය ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් ලබාදී තිබෙනවා.