ගාසා තීරයේ සිදුකරන “දැඩි හමුදා මෙහෙයුම්” හේතුවෙන් ඊශ්‍රායලය සමග තිබූ තානාපති සබඳතා අත්හිටුවීමට බොලිවියාව තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

බොලිවියාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය ෆ්‍රෙඩි මමානි පැවසුවේ සටන් විරාමයක් ඇතිකරන ලෙස තම රට ඉල්ලා සිටින බවත් කොටුකර ඇති ගාසා තීරයට අවශ්‍ය සැපයුම් ලබාදීමට කටයුතු කරන බවය.

පවතින දරුණු යුද තත්ත්වය හේතුවෙන් ඊශ්‍රායලය සමග තිබෙන සබඳතා අත්හැර දැමූ පළමු ලතින් අමෙරිකානු රාජ්‍ය වන්නේ බොලීවියාව වේ.

මේ අතර ඊශ්‍රායලය, ගාසා තීරයේ සිදුකරන මෙහෙයුම් කොලොම්බියාවේ සහ බ්‍රසීලයේ ජනාධිපතිවරුන් විසින්ද විවේචනය කර තිබුණි.

 එමෙන්ම තවත් ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන චිලී රාජ්‍යය ද ‘ජබාලියා’ සරණාගත කඳවුරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරය සම්බන්ධයෙන් විරෝධය පළ කර තිබේ.

චීලී ජනාධිපති ගේබි්‍රයෙල් බොරික් පවසා ඇත්තේ, ඊශ්‍රායල ප්‍රහාරයෙන් ‘ජබාලියා’ සරණාගත කඳවුරේ පලස්තීන වැසියන් ජීවිතක්ෂයට පත්වීම කිසිසේත් සමාව දිය හැකි කරුණක් නොවන බවය.

අරාබි ලෝකයෙන් පිට, වැඩිම පලස්තීන ප්‍රජාවක් ජීවත් වන්නේ චිලී රාජ්‍යයේය.