ලන්දේසි සමයේ දී ශ්‍රී ලංකාවෙන් පැහැරගෙන ගිය පසුව නෙදර්ලන්ත රජය මඟින් මෙරටට ලබා දුන්, මේවන විට කොළඹ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර ඇති රාජකීය කෞතුක භාණ්ඩ මහජනතාව වෙත දැක බලා ගැනීම සඳහා විවෘත කිරීම ඊයේ (05)  සිදු කෙරිණි.

නෙදර්ලන්ත රජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අන්තර්ජාතික සංස්කෘතික සහයෝගිතා කටයුතු තානාපති දේවි වැන්ඩවීඩ්, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනී හෝබැක්, කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සනූජා කස්තුරිආරච්චි යන මහත්ම මහත්මින්ගේ ප්‍රධානත්වයෙන් මෙම විවෘත කිරීම සිදු කර ඇත.

‘උදුරාගත් අපේ උරුමය නැවත අපිට’ යන තේමාව යටතේ උත්සවයේ කටයුතු සිදු කර ඇති අතර, සමරු මුද්දරයක් නිකුත් කිරීම ද මෙහිදී සිදු කෙරිණි.

වසර ගණනාවක සිට විදේශ රටක දේශගුණ තත්ත්වයක් යටතේ පැවැති මෙම කෞතුක භාණ්ඩ මෙරට දේශගුණ තත්ත්ව යටතේ සුදුසු පරිදි ආරක්ෂා සහිතව තැන්පත් කර ඇති අතර, මෙම උත්සවයට සමගාමීව අද (6) දිනයේ  ජාතික කෞතුකාගාර පරිශ්‍රයේ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.