ලොකු ළූණු ගෙන්වීම සඳහා ඉන්දියානු රජයට ලිඛිත ඉල්ලීමක් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්වරයා මාර්ගයෙන් කර ඇති බවත් මේ සතිය තුළදී ඊට යහපත් ප්‍රතිචාර ලැබෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශ ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු පවසා ඇත.

ඉන්දියාව හැරුණු විට මෙරටට ලොකු ළූණු ආනයනය කරන පකිස්තානයද සිය අපනයන සඳහා ගෙවීම් පිට පමණක් නිකුත් කිරීමේ රීතිය ක්‍රියාත්මක කිරීමේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට අත්පිට මුදලට ලොකු ළූණු ගෙන්වීමට අපහසු බවත් එම ගෙවුම් රීතිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වෙනස් කිරීම සඳහාද පාකිස්තානු රජයට ඉල්ලීමක් කර ඇති බවත් ලේකම්වරයා සඳහන් කර තිබේ.

ඉන්දියාව ලොකු ළූණු අපනයනය නැවැත්වීම නිසා මෙරට ලොකු ළූණු කිලෝවක් රුපියල් 600 දක්වා මිල ඉහළ යාමක් පසුගිය සතිය වනවිටදී වාර්තා විය.

ඊට අමතරව අත්පිට මුදලට පකිස්තානයෙන් ලොකු ළූණු ගෙන්විය හැකි සමාගමකට අවස්ථාව ලබා දීමට කටයුතු කළ බවත් ඔහු පවසා ඇත.

මීට අමතරව නෙදර්ලන්තය සහ චීනය වැනි රටවලින් ආනයනය කිරීමට ආනයනකරුවන්ට අවසර ලබා දී ඇති බවත් එම රටවල තිබෙන ළූණු මෙරටට ගැළපීම යනු වෙනම ම කාරණයක් බවත් ලේකම්වරයා සඳහන් කර ඇත.

⁣සාමාන්‍යයෙන් මසකට ලොකු ළූණු මෙට්‍රික් ටොන් 25,000 – 30,000ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය බවත් ඔහු කීය. මේ වන විට චීනය සහ නෙදර්ලන්තයෙන් තමන් ලොකු ළූණු ඇණවුම් කර ඇති බවත් එම ඇණවුම් ලැබීමට තවත් මසක පමණ කාලයක් ගත වන බවත් ආනයනකරුවන් සඳහන් කර තිබේ.

ඇණවුම් කර දින පහක් හයක් ගතවීමට පෙර ඉන්දියාවෙන් තොග ලැබෙන බවත් ඉන්දියාව අපනයන සීමාව ඉවත් කරන්නේ නම් “ඉතා හොඳ” බවත් ආනයනකරුවන් පවසා ඇත.