වියට්නාමයේ වැඩිම අවධානයක් දිනාගත් නඩුව වන්නේ මෙතෙක් ලොව සිදුකළ විශාලතම බැංකු වංචාවක් හා සම්බන්ධ නඩු විභාගයයි.

වියට්නාමය කොමියුනිස්ට් පාලනයක් යටතේ ක්‍රියාත්මක වන බැවින් එහි දැඩි නීති ක්‍රියාත්මක වෙයි.

කොමියුනිස්ට් රාජ්‍යයක් වුවද එරට වංචාව දූෂණය සමාජය වෙළාගෙන ඇති පිළිලයක් බව ජනතාව චෝදනා කරයි.

එබැවින් මෙම බැංකු වංචාවට සම්බන්ධ සැකකරුවන්ට උපරිම දඬුවම් දීමටත් මෙම නඩුවට සුවිශේෂී මාධ්‍ය ප්‍රචාරයක් ලබා දීමටත් බලධාරීන් කටයුතු කරමින් සිටියි.

මෙම නඩුවේ ප්‍රධාන සැකකාරිය වන්නේ ධනවත් කාන්තාවකි.

67 හැවිරිදි Truong My Lan දේපොළ සංවර්ධන ව්‍යාපාර හිමි ඇයට එල්ලවී ඇති චෝදනාව වන්නේ වියට්නාමයේ විශාලතම බැංකුවක් ලෙස සැලකෙන සයිගොන් කොමර්ෂල් බැංකුවෙන් මුදල් වංචා කිරීමය.

වසර 11ක් පුරා ඩොලර් බිලියන 44ක් වංචාකර ඇති බවට ඇයට චෝදනා නගන අතර රජයේ නීතිඥයින් පවසන්නේ ඉන් ඩොලර් බිලියන 27ක් කිසිදිනෙක නැවත අය කරගැනීමට නොහැකිවීමට ඉඩ ඇති බවයි.

මෙම නඩුව සඳහා සාක්ෂිකරුවන් 2700ක් කැඳවා ඇති අතර රජයේ නීතිඥයින් 10ක් සහ තවත් නීතිඥයින් 200ක් මෙම නඩුවට සම්බන්ධය.

සාක්ෂි ලේඛන පෙට්ටි 104ක අසුරා ඇති අතර එහි බර ටොන් හය කි.

Truong My Lan ඇතුළුව සැකකරුවන් 85 දෙනෙක් ට එරෙහිව චෝදනා එල්ල වී ඇති අතර ඇය සහ තවත් 13 දෙනෙකුට මරණ දණ්ඩනය හිමිවීමට ඉඩ ඇතැයි එරට මාධ්‍ය සඳහන් කරයි.

1986 දී වියට්නාම ආර්ථික පුනර්ජීවනයත් සමග අදාළ සැකකාරිය දේපොළ වෙළෙඳපොළ සඳහා ආයෝජනය කළ අතර 1990 වනවිට හෝටල් සහ භෝජනාගාර කිහිපයක අයිතිය හිමිකර ගැනීමට ඇය සමත් වූවාය.

2011 වනවිට බිලියනපතිනියක් වී සිටි ඇයට ඒ වනවිට කඩාවැටෙමින් තිබූ එරට කුඩා බැංකු 3ක් ඒකාබද්ධ කිරීමට අවසරය ලැබුණු අතර සයිගොන් කොමර්ෂල් බැංකුව ආරම්භ වූයේ ඒ ආකාරයට ය.

වියනාම් නීතියට අනුව කිසිවෙකුට එරට කිසිදු බැංකුවක කොටස් වලින් 5%කට වඩා හිමිකර ගැනීම තහනම් වුවත් මෙම කාන්තාව ව්‍යාජ සමාගම්, සහ ඇයගේ සමීපතමයින් ඔස්සේ සයිගොන් කොමර්ෂල් බැංකුවේ කොටස් ලබාගෙන තිබුණා.

Truong My Lanට ඇත්ත වශයෙන්ම එම බැංකුවේ කොටස් 90%ට වඩා හිමිව තිබූ බව රජයේ නීතිඥයෝ චෝදනා කරති.

එසේම බැංකුවේ කළමනාකරුවන් ලෙස සිය හිතවතුන් පත්කළ ඇය තම ව්‍යාජ සමාගම් හරහා සයිගොන් බැංකුවෙන් විශාල වශයෙන් ණය අරගෙන තිබූ අතර බලධාරීන් පවසන්නේ එය සමස්ත ණය වලින් 93% පමණ වන බවයි.