ලොව පුරා බොලිවුඩ් රසිකයින් තිරගත වන තුරු ඇඟිලි ගනිමින් පසුවන සුපිරි නළු ශාරුක් ඛාන්ගේ නවතම චිත්‍රපටය වන “Jawan” ලබන සැප්තැම්බර් 7 දින සිට ලොව පුරා තිරගත කිරීමට නියමිතයි.

දිනපතා පුවත් මවන Jawan පිළිබඳව වාර්තාවන නවතම පුවත වන්නේ, ලොව දැවැන්තම IMAX සිනමා තිරයට හිමි ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කියන ජර්මනියේ Leonburg හි පිහිටා ඇති Traumpalast හි තිරගත කරන ප්‍රථම ඉන්දියානු චිත්‍රපටය බවට පත් වීමට Jawan සමත් වී තිබෙන බවයි.

2022 දෙසැම්බර් 06 දින ප්‍රදර්ශන ආරම්භ කළ මෙම සිනමා තිරයේ විශාලත්වය පළලින් අඩි 127.2 ක් සහ උසින් 68.8 (වර්ග අඩි 8770.43 ක්) වන අතර එය Boeing 737 ගුවන් යානයකටත් වඩා ප්‍රමාණයෙන් විශාල බවයි වාර්තා වන්නේ.

අති නවීන ලේසර් සංවේදක තාක්ෂණය (Laser Sensor Technology) භාවිත කරමින් පරිමාණය කර ඇති මෙම තිරයේ සෑම සෙන්ටිමීටර් 40කටම ලේසර් කේන්ද්‍ර ස්ථානගත කර ඇති අතර, විශේෂිත මෘදුකාංගයක් මගින් එය මිලිමීටරයක දක්වා පරිමාණය කර (Millimetre precision) ඉහළම නිරවද්‍යතාවයකින් යුත් උසස් රූපරාමු ප්‍රේක්ෂකයා වෙත සමීප කරවීමට සමත් වන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.