ඉදිරි මාස කිහිපය තුළ දිවයිනේ අනෙකුත් ආදිවාසී ගම්මාන වල ජීවත්වන ආදිවාසි ජනතාවට මතුව ඇති ගැටළු පිළිබඳව සොයා බැලීමට එම ගම්මාන වලට පැමිණෙන බවත්, අපේ රටේ උරුමක්කාරයන් වූ ආදිවාසී ජනතාව තවදුරටත් කරුමක්කාරයන් නොවිය යුතු බවත් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක සඳහන් කර ඇත.

දඹාන, කොටබකිණිය ගම්මානයේ දී ඊයේ (09) ලෝක ආදිවාසි දින සැමරුම් දිනට සමගාමීව පැවැති සැමරුම් උත්සවයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

භාෂාවෙන් හෝ සිරිත් විරිත් වලින් වෙනස්කම් තිබුණත් මේ මහා සංස්කෘතිය තුළ අප සියලු දෙනාම එකම මිනිස් කොට්ඨාසයක් බවත්,මතු වී ඇති ප්‍රශ්න ගැටළු සඳහා විසඳුම් හොයන්න සියලු දෙනාම එක් වී වැඩි කළයුතු බවත්,අපේ උරුමයක් වූ ආදිවාසී ජනතාවගේ වටිනාකම ලෝකය වෙත ගෙන යන්න විශේෂ වැඩසටහනක් සකස් කරන බවද අමාත්‍ය වරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.