වංචා, දූෂණවලට සම්බන්ධ වී වරදකරුවන් වන මන්ත්‍රීවරු මන්ත්‍රී ධූරවලින් ඉවත් කිරීමේ බලය ලැබෙන පරිදි නීති සැකසීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු ව ඇති බව වාර්තා වේ.

පෙරේදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී, මෙවැනි නීති සැකසීමේ ඇති අවශ්‍යතාව පිළිබඳ ජනාධිපතිවරයා විසින් කරුණු දක්වා ඇති බවයි වාර්තා වන්නේ.

විශේෂයෙන් පාර්ලිමේන්තුව තුළ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ක්‍රියා පිළිබඳව දැඩි නීති රීති පද්ධතියක් හඳුන්වාදීමේ ඇති අවශ්‍යතාවයක් ඇති බවත්, විනයගරුක මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු මඟින් බිහි කළ යුතු බවත් මෙහිදී අවධාරණය කර ඇති ජනාධිපතිවරයා, සිංගප්පූරුවේ ද මීට අදාළ නීති රීති දැඩිව ක්‍රියාත්මක වන බව ද පෙන්වා දී ඇත.

මන්ත්‍රීවරයෙකුගේ වැටුප රුපියල් 54,000ක් වැනි මුදලක් ලැබෙන අතර ඇතැම් මන්ත්‍රීවරුන්ට වාහන ලබා ගැනීමේ බලපත්‍ර නිකුත් කිරීමක් මෑත කාලයේ සිදුවී නොමැති අතර ඔවුනට වරප්‍රසාද හිමි වීමක් ද සිදුනොවූ බව මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇති අතර මෙසේ නීති ඇති කර ක්‍රියාත්මක කිරීමේදී නීතිගරුක, විනයගරුක, ගෞරවනීය ලෙස හැසිරෙන මන්ත්‍රීවරුන් සඳහා දැනට ලබාදෙන වැටුප වැඩි කර ලබාදීමේ වැරැද්දක් නොමැති බව ද ජනාධිපතිවරයා තවදුරටත් අවධාරණය කර ඇති බව වාර්තා වේ.

මෙම වෙනස්කම් සිදුකිරීම සඳහා යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අධිකරණ ඇමැතිවරයාට උපදෙස් දුන් බවයි වාර්තා වන්නේ.