2023 යල කන්නයේ දරුණු නියඟය නිසා සිදුවූ වගා හානි සඳහා වන්දි මුදල් ප්‍රදානය කිරීම මේ වනවිට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ආරම්භ කර තිබේ.

ඒ අනුව මේ වනවිට වගා හානි වන්දි සඳහා වැය කර තිබෙන මුදල රුපියල් මිලියන 550ක් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සදහන් කර ඇත.

වලව කලාපයේ හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගා හානි වන්දි සඳහා අවශ්‍ය සියලු මුදල් මේ වනවිට වෙන් කර ඇති අතර මෙම මාසය අවසන් වන විට වගා හානි සිදුවූ රටේ සියලු ගොවීන්ට වන්දි මුදල් ප්‍රදානය කර අවසන් කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

යල කන්නයේ වගා හානි සම්බන්ධව සිදු කළ ඇස්තමේන්තු අනුව නියඟය නිසා අක්කර 65,000ක් පමණ ද, ඉන්පසුව ඇති වූ වර්ෂාව නිසා ඇතිවු ගංවතුර නිසා අක්කර 11,000ක් ද හානියට පත්වූ බව සඳහන් වේ.