වත්තේගම සෙන්ට්‍රල් පාර ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී තියුණු ආයුධවලින් කපාකොටා ඝාතනය කළ අයගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.

මේ හේතුවෙන් වත්තේගම නගරය පුරා දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා.

මේ අතර පොලිස් මාර්ග බාධක ක්‍රියාත්මක කර තිබෙන්නේ වෙනත් පොලිස් ස්ථාන්වල නිලධාරීන්ගේද සහාය ඇතිව බවයි පොලිසිය පවසන්නේ.

ඝාතනය සිදුකිරීමට විරෝධය පලකරමින් ඊයේ (05) ප්‍රදේශවාසීන් රැසක් වත්තේගම නගරයට රැස්ව සිටි අතර සැකකරුගේ ව්‍යාපාරික ස්ථානවලට පහරදීමටත් ඔවුන් කටයුතුකර තිබෙනවා.

ඝාතනය මුදල් කොන්ත්‍රාත්තුවක් මත කළ එකක් බවටයි සැක කරන්නේ.

ප්‍රහාරය සිදුකර පලාගිය පිරිස ඒ බව කියා ගොස් ඇති බවයි මරණකරුගේ සහෝදරයෙක් පොලිසියට කියා ඇත්තේ.

මේ සම්බන්ධයෙන් සැකකාර මාළු ව්‍යාපාරිකයා මාස කිහිපයක සිට ප්‍රදේශයේ දකින්නට නැතිබවයි පැවසෙන්නේ.

වත්තේගම ප්‍රදේශයේ මාළු අලෙවි සැල් දෙකක් අතර පවතින ගැටලුවක් හේතුවෙන් ඝාතනය සිදුකර තිබෙන බවයි පැවසෙන්නේ.

ඉකුත් 03 වැනිදා රාත්‍රියේ මෙම ඝාතනය සිදුකර තිබෙන බවයි පොලිසිය පැවසුවේ.

පහරකෑමට ලක්වූ පුද්ගලයා එදින පස්වරුවේ මුදල් ගනුදෙනු බේරීමට යන බව පවසා නිවෙසින් පිටත්ව ගොස් රාත්‍රී 7ට පමණ නැවත පැමිණ තිබෙනවා.

ඒ මොහොතේ නිවස ඉදිරිපිට ඝෝෂාවක් ඇසුණු බවත් නිරීක්ෂණය කිරීමේදී පිරිසක් පොර බදන අයුරු දුටු බවත් මරණකරුගේ සහෝදරයෙකු පොලිසියට පවසා තිබෙනවා.

සැණෙකින් පිරිස මෝටර් රථයකින් පලාගොස් ඇතත් සිය සොහොයුරාට තියුණු ආයුධයකින් පහර දී බරපතල තුවාල ලබා සිටි බවද පවසා තිබෙනවා.

පසුව තුවාලකරු වත්තේගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මහනුවර රෝහල වෙත මාරුකර යැවීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ අතර බරපතල තුවාල ලබා සිටි 39 හැවිරිදි පුද්ගලයා ඊයේ 4 වැනිදා අලුයම මියගොස් තිබෙන බවයි පොලිසිය පැවසුවේ.

දෙපිරිසක් අතර පැවති ගැටුමක් හේතුවෙන් මරණය සිදුව ඇතත් තවමත් සැකකරුවන් කිසිවෙක් හදුනාගෙන නැති බවයි පොලිසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු  අඛණ්ඩව සිදු කෙරෙමින් පවතින බව පොලිසිය ප්‍රකාශ කළා.