වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1,700ක් දක්වා වැඩි කිරීමට පඩි පාලක සභාව තීරණය කර ඇති බව වාර්තා වේ. වතු ක්ෂේත්‍රයේ පඩි පාලක සභාව කම්කරු කොමසාරිස් දෙපාර්තමේන්තුවේදී ඊයේ (අගෝ. 12) දහවල් රැස්ව මෙම තීරණය ගෙන ඇත.

කම්කරු ඇමතිවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි පඩි පාලක සභාව රැස්ව ඇති බවයි සඳහන් වන්නේ.

ලංකා ජාතික වතු කම්කරු සංගමයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් සඳහන් කළේ, වතු කම්කරුවන් දීර්ඝ කාලයක් තිස්සේ මුහුණ දුන් වැටුප් ගැටලුවට විසඳුමක් ලැබී ඇති බව යි.

වතු කම්කරු වැටුප් ප්‍රශ්නයට අමතරව වතු නිවාස සහ වතුකරයේ ගුරු සහායක පත්වීම් ලබා දීමේ ගැටලු විසඳීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ එකඟතාව ලබා දී තිබෙන බව ද ඔහු කීය.

එසේම වතු කම්කරුවකුට පර්චස් 8ක ඉඩම් හිමිකම් ප්‍රදානය කිරීමට ඊයේ පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා ප්‍රතිඥා ලබා දුන් බව ද හෙතෙම පැවසීය.