තණමල්විල පාසලක 11 ශ්‍රේණියේ ඉගෙන ගත් පාසල් දැරියක් වසරක් පුරා දූෂණය කළ බව කියන පාසල් සිසුන් 17 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. පොලීසිය සඳහන් කළේ මෙම අපරාධය සදහා ආධාර අනුබල දුන් කාන්තාවක ද අත්අඩංගුවට ගත් බවයි.

2023 වසරේ සිට අවස්ථා රැසක දී මෙම දැරිය සමූහ වශයෙන් දූෂණයට ලක්කර ඇති බවට මූලික විමර්ශන වලින් අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

එලෙස දැරිය දූෂණය කරන දර්ශන සැකකාර සිසුන් විසින් වීඩියෝ ගත කර ඇති අතර ඒවා සමාජ මාධ්‍යයට මුදාහරින බව පවසමින් දැරිය බිය ගන්වා ඇති බවයි සඳහන් වන්නේ.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකාර සිසුන්ගේ දෙමව්පියන් ප්‍රදේශයේ යම් සමාජ බලයක් හිමි පිරිසක් වන අතර ඒ හේතුවෙන් මෙම සිද්ධිය බොහෝ කාලයක් යටපත් කිරීමට කටයුතු කර ඇති බවට පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත.