ඉහළ දැමූ වැට් බද්දත් සමඟ ඖෂධ මිල 25%කින් පමණ ඉහළ යාමේ අවදානමක් තිබෙන බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර පවසා ඇත.

පසුගිය කාලය තුළ ද ඖෂධ හා සෞඛ්‍ය උපකරණ මිල තුන් ගුණයකින් ඉහළ ගිය අතර මෙසේ මේ වසරේ සිට ඖෂධ මිල සියයට විසිපහකින් ඉහළ යාම ජනතාවට කිසිසේත් මන්ම දරා ගත නොහැකි අර්බුදයක් බව වෛද්‍යවරයා සඳහන් කර තිබේ.

විශේෂයෙන් ම බෝ නොවන රෝග වන හෘදයාබාධ, අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝගීන් ලක්ෂ ගණනක් ඖෂධ ගැනීම අත්හැර ඇති අතර එය රටක් ලෙස බරපතළ ම තත්ත්වයක් බව හෙතෙම අනතුරු ඇඟවා ඇත.

සංවර්ධිත රටවල දළ දේශීය නිෂ්පාදනයෙන් සෞඛ්‍යයට 10%ක් පමණ වෙන් කළ ද එය ලංකාවේ සෑම වසරක ම වෙන් කරන්නේ 3%ක් හෝ උපරිමය 4%ක් පමණක් බව ද හෙතෙම පෙන්වා දී තිබේ.

එම නිසා ඉහළ යන ජීවන වියදමත් සමග රෝගී වන ජනතාවට සෞඛ්‍ය සේවා ලබා ගැනීම ගැන හිතන්නවත් බැරි වසරක් බවට මේ වසර පත් වනු ඇති බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර ඇත.