එකතු කළ අගය මත බදු සංශෝධන පනතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් මගින් දන්වා තිබේ.

ඒ අනුව මේ මස 11 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි දේශීය දියර කිරි සහ යෝගට් නිෂ්පාදන සඳහා වන වැට් බද්ද ඉවත් වනු ඇත.

එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත පසුගිය අපේල් 09 වන දින පාර්ලිමේන්තුවේ දී සම්මත වූ අතර ඒ සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ සහතිකය මේ මස 11 වෙනිදා හිමිවිය.

ඒ අනුව අදාළ පනත එදින සිට බලාත්මක වන බැවින් ඊට අදාළව බදු සංශෝධනයන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙන අතර දියර කිරි සහ යෝගට් මෙමගින් බදුවලින් නිදහස් කර ඇත.

ඒ සඳහා අදාළ නිෂ්පාදනවල නැවුම් කිරි අවම වශයෙන් 50%ක් අඩංගු විය යුතු බව වැඩිදුරට​ත් සඳහන් වේ.

ඒ හේතුවෙන් මෙම නිෂ්පාදන සඳහා මීට පෙර පනවා තිබූ 18%ක බදු ප්‍රමාණය ඉවත්වනු ඇත.

ඊට අමතරව විදුලි ජනනය සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට සපයන නැප්තා සඳහා වන වැට් බද්ද ද ඉවත් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ​ය.

කෙසේවෙතත් මෙම පනත මගින් අනේවාසික පුද්ගලයින් විසින් සපයනු ලබන ඩිජිටල් සේවාවන් සඳහා වැට් බදු පැනවීමට තීරණය කර තිබෙන අතර ​ඒ අනුව ඔක්තෝබර් පළමු වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අනේවාසික පුද්ගලයින් විසින් විද්‍යුත් වේදිකා හරහා ශ්‍රී ලංකාවේ පුද්ගලයින්ට සපයනු ලබන සේවාවන්වලට වැට් බද්ද අදාළ වන බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඊට අමතරව වාණිජ අරමුණු සඳහා භාණ්ඩ ආනයනය කරන හෝ අපනයනය කරන සියලුම පුද්ගලයින් එකතු කළ අගය මත බදු සංශෝධන පනතේ ලියාපදිංචි වීම ද අනිවාර්යය කර තිබේ.