නීතිඥ ආර්.එස්.පී. රණසූරිය මහතා විසින් වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කරන ලෙස ජනාධිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, නීතිපතිවරයාව එහි වග උත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කෙරුණු බව පෙන්වා දෙන පෙත්සම්කරු, එම පෙත්සම් විභාගයට ගැනීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ රාජකාරි කටයුතු හා බලතල ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත් 24 වනදා අතුරු නියෝගයක් නිකුත් කළ බවත් සිහිපත් කර තිබෙනවා.

එම අතුරු තහනම් නියෝගය තුළින් ජනාධිපතිවරයාට වැඩ බලන පොලිස්පතිවරයකු පත් කිරීම සඳහා කිසිදු බාධාවක් නොමැති බව ඉතා පැහැදිලිව පෙන්වාදී ඇති බවත් පෙත්සම්කරු පෙන්වා දෙනවා.

තමා ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වී ඇති නිසා තමන්ට වැඩ බලන පොලිස්පතිවරයකු පත් කිරීමට හැකියාවක් නොමැති බව රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රකාශ කර ඇතැයි පෙන්වාදෙන පෙත්සම්කරු, එසේ ප්‍රකාශ කළ ජනාධිපතිවරයා අලි සබ්රි අධිකරණ අමාත්‍යවරයා වශයෙන් පත්කිරීමට කටයුතු කර ඇති බව සඳහන් කර තිබෙනවා.

මෙම ක්‍රියාවන් හරහා ජනාධිපතිවරයා චේතනාන්විතවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් තම බලය අයුතු ලෙස පරිහරණය කර තිබෙන බවට පෙත්සමෙන් චෝදනා කරයි.

වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් නොකිරීම තුළින් මහජන ආරක්ෂව අනතුරේ හෙලීමට කටයුතු කර තිබෙන බවත්, ජනාධිපතිවරයා චේතනාන්විතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන බැවින්, ඔහු ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙක් වශයෙන් ඉදිරිපත් කිරීම නුසුදුසු බවට එම පෙත්සමේ වැඩිදුරටත් සඳහන්.