මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කිරීම හා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ විශේෂ කාරක සභාවේ සාමාජිකත්වයෙන් තමා ඉල්ලා අස්වෙන බව සදහන් කරමින්  පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කතානායකවරයාට ලිපියක් ලබා දී ඇත.

මෙම විශේෂ කාරක සභාව සඳහා මන්ත්‍රීවරුන් නම් කිරීමේදී විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස ඔහුගේ  නම  එම විශේෂ කාරක සභාවේ සාමාජිකයෙකු ලෙස ඉදිරිපත් කරනු ලැබ තිබිණි.

කෙසේ වුවද ආණ්ඩු පක්ෂයෙන් මෙම කාරක සභාව වෙත යෝජනා කරනු ලැබ ඇති නම් පිළිබඳව මේ වන විට ගොඩනැගී ඇත්තේ මතභේදාත්මක තත්වයක් බව විජිත හේරත් මහතා එම ලිපියේ සඳහන් කර තිබේ.

රටේ මූල්‍ය බංකොලොත්භාවය ඇතිවීමට හේතු කාරක වූ බහුතරයක් පිරිසගෙන් සමන්විත කමිටුවක් මගින් ඊට අදාළ සැබෑ හේතු පරීක්ෂාවට ලක් කිරීමක් හෝ ඊට අදාළ යෝජනා නිර්දේශ ඉදිරිපත් වනු ඇතැයි අපේක්ෂා කිරීම නිෂ්ඵල බවත් මේ තත්වය තුළ එවැනි කමිටුවක් නියෝජනය කිරීම අර්ථ විරහිත වන බැවින් මම එම විශේෂ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බවත් එම ලිපියේ සඳහන් කර ඇත.