ලබන සඳුදා (21) සිට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි යලි ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

එළැඹෙන සෙනසුරාදා දිනයේ දී ඇණවුම් කරන ලද නව විදෙස් ගමන් බලපත්‍ර තොගය මෙරටට ලැබෙන බවත් ඒ අනුව සඳුදා සිට ඒවා බෙදාහැරීම සිදුකරන බවත් ඔහු පවසා ඇ​ත.

අද (15) උදෑසන පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

එමෙන්ම ඊ-පාස්පෝට් සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණයේ වාරණ නියෝගයක් පවතින බවත්, එයට අදාළව ටෙන්ඩර් කැඳවීමක් සිදුනොකරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

උසාවි නියෝගය අවසන් වීමෙන් පසුව ඒ පිළිබඳ අවධානය යොමුකරන බව ද ඔ​හු පවසයි.

කෙසේ වෙතත් මේ වනවිට ඇණවුම් කර ඇති විදෙස් ගමන් බලපත්‍ර 750,000 ඉදිරියේ දී අවසන් වීමත් සමග නැවතත් පාස්පෝට් අර්බුදයක් ඇති වීමට ඉඩ ඇති බැවින් සාමාන්‍ය පාස්පෝට් ලබාදීමට අවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියකට ගොස් ටෙන්ඩර් පටිපාටියක් අනුව තවත් පාස්පෝට් ප්‍රමාණයක් ගෙන්වීමට පසුගිය 11 වනදා පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කළ බව ද අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.