හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදේශීය සමාගම් දෙකකින් මෙරට විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබෙන රිට් පෙත්සමේ වග උත්තරකරුවකු ලෙස නම් කර තිබේ.

අදාළ මිලදී ගැනීම් අභියෝගයට ලක් කරමින් එපික් ලංකා පුද්ගලික සමාගම විසින් ගොනු කර ඇති පෙත්සමට අදාලව පෙත්සම්කාර පාර්ශ්වය විසින් මෝසමක් ඉදිරිපත් කරමින් එහි වග උත්තරකරුවකු ලෙස රනිල් වික්‍රමසිංහ නම් කරනු ලැබුවේ​ය.

මෙම පෙත්සම අද (06) මොහොමඩ් ලෆාර් තාහීර් සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැ​බූ අවස්ථාවේදී අදාල පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම්කර තිබූ තසෙස් සමාගම සහ ජස්ට් ටයිම් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුව කරුණු දක්වමින් ඊ- විදේශ ගමන් බලපත්‍ර මිලියන පහක් මිලදී ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති නිසා තම සේවා දායකයින්ට දැඩි අගතියක් සිදුවී ඇති බව සඳහන් කළේ​ය.

මෙම අතුරු තහනම් නියෝගය නඩු විභාගය අවසන් වන තෙක් බල පැවැත්වෙන බව පෙන්වා දුන් එම නීතිඥවරු අදාළ අතුරු නියෝගය ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විරාන් කොරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලිය අවිධිමත් ප්‍රසම්පාදන ක්‍රමවේදයක් යටතේ සිදුවී ඇතැයි පෙන්වා දුන්නේ​ය.

මෙම අතුරු නියෝගය ඉවත් කරන ලෙස කරනු ලබන ඉල්ලීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බවත් මෙම නඩුව කඩිනමින් විභාග කොට අවසන් තීන්දුවක් ලබාදීම සුදුසු බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටි ඇත.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාල අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස කර තිබෙන ඉල්ලීමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා ගොනු කරන ලෙස පෙත්සම්කාර පාර්වශවයට නියෝග කළ අතර, ඒ පිළිබඳ කරුණු විභාගය දෙසැම්බර් මස 09 වනදා සිදුකරන බවත් නියෝග කළේය.

සාමාන්‍ය විදේශික ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් සහ ඊ විදේශ ගමන් බලපත්‍ර මිලියන පහක් මිලදී ගැනීම සඳහා ඉකුත් රජයේ අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබූ තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා එපික් ලංකා පුද්ගලික සමාගම විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.