දැනුම්වත් සහ ශිෂ්ඨ සම්පන්න සමාජයක් තුළින් රටක ආර්ථිකය ගොඩනැගිය හැකි බව කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා පවසයි.

ජීවිත අරගලය ජය ගැනීම සඳහා බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය ඉතාම වැදගත් වන අතර එම ධර්මය වඩා ගැඹුරින් අධ්‍යයනය කර ලෝකයට ගෙනයෑම සඳහා ථෙරවාදි බුදු දහමේ කේන්ද්‍රස්ථානය වන ශ්‍රී ලංකාවට මහඟු වගකීමක් පැවරී තිබෙන බවත්, ථෙරවාදි බුදු දහම පිළිබඳ පර්යේෂණ ආයතනයක් ස්ථාපිත කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවත්, ථෙරවාදි බුදු දහම ලෝකයට ගෙන යාමට මෙන්ම බෞද්ධ රටවල් අතර සබඳතා ශක්තිමත් කර ගැනීමට මෙවැනි බෞද්ධ ආයතනවලට විශාල හැකියාවක් තිබෙන බවත් ජනාධිපතිවරයා පෙන්වා දි ඇත.

තාක්ෂණ යුගයට අවශ්‍ය පරිදි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ශක්තිමත් කිරීමට සැලසුම් කර ඇති බවද පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සෑම විශ්වවිද්‍යාලයකම කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පාඨමාලා ආරම්භ කිරීමට පියවර ගන්නා බවද සඳහන් කළේය.

එසේම පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ සිසුන්ගේ කැමැත්ත අනුව එහි ශිෂ්‍ය නේවාසිකාගාරයක් ඉදිකිරීමට අවශ්‍ය ඉඩම සහ රාජ්‍ය අනුග්‍රහය ලබාදීමට සූදානම් බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

නව ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම සඳහා ආධාර ලබා දුන් විදේශීය පරිත්‍යාගශීලින්ට සමරු තිළිණ ප්‍රදානය කිරීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් සිදුකෙරිණි.

ජනාධිපතිවරයා මෙම උත්සවයට සහභා​ගි වූයෙ ඊට පෙ​ර දෙදිනක් පුරා ශිෂ්‍ය සංගම් සහ විශ්ව විද්‍යාල සිසුන් පැවැත්වු දැඩි විරෝධතා මධ්‍ය​යේ වීම විශේෂත්වයකි.