මහරගම තරුණ සේවා සභාවේ පැවති විශ්‍රාමික පොලිස් සාමූහික රැස්වීම පිළිබඳව සමගි ජන බලවේගය ඇතුළු බොහෝ දෙනා කලබල වී එල්ල කරන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බව එම සාමූහිකයේ සභාපති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට ලැබිය යුතු උසස්වීම ද මෙ වන විට නතර කර ඇතැයි කී ඔහු, එය ඔහුට කරන අවසන් පලිගැනීම ලෙස සිතිය හැකි බවයි පවසන්නේ.

ශානි අබේසේකර අනීතික ලෙස අත්අඩංගුවට ගෙන මාස එකොළහක් සිරගත කොට සිටි බවත් එම නිසාම ඔහුගේ උසස් වීම් පවා නුදුන් අතර ඔහු මේ වන විට මූලික අයිතිවාසිකම් පෙත්සමක් අධිකරණය වෙත යොමුකර ඇති බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න පැවසුවේ.

ඒ අතරතුර තමාට අහිමි වූ උසස්වීම් ලබා දෙන ලෙස අබේසේකර බලධාරීන්ගෙන් ඉල්ලා සිටියදී පොලිස්පතිවරයා කියා ඇත්තේ මේ වනවිට ගොනුකර ඇති අයිතිවාසිකම් පෙත්සම ඉවත් කර ගතහොත් උසස් වීම් ලබා දිය හැකි බව පැවසූ ඔහු කියා සිටියේ ශානි අබේසේකර ඊට එකඟ නොවීම නිසා පසුගියදා පොලිස් කොමිසම උසස්වීම් දිය නොහැකි බව ඔහුට ලිපියක් එවමින් කියා ඇති බවයි.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සහරාන් පිළිබඳව විමර්ශනය කළ කණ්ඩායමකට ආපසු හැරී එන ලෙස ශානි අබේසේකර නියෝග කළ බව සඳහන් ප්‍රකාශයද අමූලික බොරුවක් යැයි ඔහු අවධාරණය කර ඇත.

බත්තරමුල්ල පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලයේදී පැවති මාධ්‍යය හමුවකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මේ බව පවසා ඇත.