බුදුදහමට අපහාස කරන ලද බවට චෝදනා ගොනුකරමින් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්ති පණත (ICCPR) යටතේ අත්අඩංගුවට ගත් රත්නපුරයේ විමලබුද්ධි හෙවත් විශ්වබුද්ධ නමින් හඳුන්වාගන්නා තැනැත්තා පසුගිය දා ඇප මත මුදාහැරීමට අධිකරණය කටයුතු කලේ එම පණත යටතේ ඔහුට චෝදනා නැගීමට නොහැකි බව පවසමින්.

නමුත් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කලේ ඔහුට විරුද්ධ නඩුව වෙනත් නෛතික පණත් යටතේ ක්‍රියාත්මක වෙන බවයි.

ඔහු ප්‍රකට යූටියුබ් නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ තමා වැරදි නම් මෙරට නීතිය යටතේ තමාට දඬුවම් කළ යුතු බවත්, වර්තමාන ශාසනයේ 99%ක් පමණ වන හිමිවරුන් හොරෙන් කරන සියලු දේ තමා එළිපිට කළ බවයි. ස්ත්‍රී ඇසුර, මත්පැන් පානය, වෙනත් දුරාචාරී දේ එම පිරිස සිවුරට මුවා වී කරන බවත් තමා එය එළිපිට සිදු කර තම අදහස ප්‍රකාශ කිරීමට ඉඩ පාදා ගත් බවත් ඔහු එහිදී කියා සිටියි.

එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියාසිටියේ වර්තමාන ශාසනයේ කුඩා හිමිවරුන් 99%ක් ලිංගික අපචාරයන්ට ගොදුරු වන බවයි.

තවද යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් යනුවෙන් කරන දේවල් පට්ටපල් බොරු බවත්, සංඝ ශාසනයේ වර්තමානයේ සිටින්නේ සිවුරු දරාගෙන තක්කඩිකම් කරන 99% තමාට පෙන්වීමට අවශ්‍ය වූ බවත්, තමා එය කළ බවත් කියූ ඔහු, මේ රට මේ තරම් දුප්පත් වුණේ සහ පහළට වැටුණේ ගුණධර්ම නැති තක්කඩි සිවුරට මුවාවී සැඟවී සිටි නිසා බවයි පැවසුවේ. වඳින්නේ සිවුරට නම් සිවුර බල්ලාට දැමූ විට බල්ලාටද වැඳීමට හැකි විය යුතු බවද ඔහු එහිදී කියා සිටියා.

තවදුරටත් ඔහු කියාසිටියේ ආගමික නායකයින්ට අධිකරණ බලය ලබා දීම කිසිසේත් නොකළ යුතු බවට ඔහු ජනාධිපතිවරයාට අවධාරණය කල අතර ආගමික නායකයන් එකතු වී ආගමික අන්තවාදයක් රට තුළ නිර්මාණය කිරීම ඒ තුළින් නිසැකව සිදුවන බවයි ඔහු ප්‍රකාශ කලේ.