බුදු දහමට අපහාස ‍කළ බවට චෝදනා ලබමින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්නපුරයේ “විශ්ව බුද්ධා” නැමති හිමිනමක් ඇපමත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අද (09) නියෝග කර ඇත.

මෙම සැකකරුට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත (ICCPR) යටතේ චෝදනා පවත්වාගෙන යෑමට නොහැකි බව මහෙස්ත්‍රාත්වරයා පවසා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව සැකකරු රුපියල් ලක්‍ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා පැමිණිල්ල නැවත මාර්තු මස 27 වනදා කැඳවන ලෙසත් නියෝග කලේය.

මහෙස්ත්‍රාත්වරයා වැඩි දුරටත් සඳහන් කරන්නේ සැකකරුට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 290 වන වගන්තිය යටතේ විමර්ශන කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාව ඇති බවයි.