ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් කඩුලු 08ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත ක්‍රීඩිකාවෝ අද (10) සමත් විය. ඒ අනුව තරග 03කින් යුත් විස්සයි20 තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට නවසීලන්තයට හැකි විය.

කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ පථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 118ක් රැස් කළේය. අනතුරුව ලකුණු 119ක ඉලක්කය පන්දුවාර 18.4කදී කඩුලු 02ක් දැවී පහසුවෙන් පසුකර යාමට නවසීලන්ත ක්‍රීඩිකාවෝ සමත් වූහ.

නවසීලන්තය වෙනුවෙන් ආරම්භක පිතිකරු සුසී බේට්ස් ලකුණු 52ක් රැස් කළාය. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී කවීෂා දිල්හාරි ලකුණු 22කට කඩුල්ලක් සහ ඉනෝකා රණවීර ලකුණු 28කට කඩුල්ලක් දවා ගත්හ.

ශ්‍රී ලංකා ඉනිමේදී හර්ෂිතා සමරවික්‍රම ලකුණු 23ක්, හසිනි පෙරේරා ලකුණු 33 සහ නිලක්ෂි ද සිල්වා ලකුණු 22ක් රැස් කළහ. නවසීලන්තය වෙනුවෙන් පන්දු යැවීමේදී ලී ටහුහු ලකුණු 21කට කඩුලු 04ක් බැඳහෙළීය.තරගයේ වීරයා සම්මානයද ඇයට හැමි විය.

ශ්‍රී ලංකා-නවසීලන්ත තෙවැනි විස්සයි20 තරගය අනිද්දා (12) කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ