ශ්‍රී ලංකාවේ අවුරුදු 19න් පහළ යොවුන් පාපන්දු තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කටයුතු සූදානම් කර තිබෙනවා.

දිවයිනේ ප්‍රධාන නගර 55ක් ආවරණය කරමින්, කණ්ඩායම් 440ක, ක්‍රීඩකයින් 11,000කට අධික සංඛ්‍යාවක් තරග වැදීමට නියමිත බව වාර්තා වේ.

ලයිකා ඥානම් (Lyca Gnanam) පදනමේ අනුග්‍රහය මත එම තරගාවලිය පැවැත්වීමට නියමිත අතර අඛණ්ඩව වසර 03ක් යනතුරු එම අනුග්‍රාහකත්වය ලබාදීමට ඔවුන් එකඟතාවය පළ කර ඇත.

ක්‍රීඩා සමාජ නිලධාරීන් 2,500ක් මෙන්ම පුහුණුකරුවන් හා තරග විනිසුරන් 1,000කට අධික සංඛ්‍යාවක්ද මේ තරගාවලිය සඳහා එක්වීමට නියමිතව ඇති අතර ලබන ජූලි මාසයේ සිට තරගාවලිය ක්‍රියාත්මක වේ.

මූලික වටයේ තරග දිස්ත්‍රික් තරග ලෙසින් පැවැත්වෙන අතර ඒ සෑම දිස්ත්‍රික්කයකින්ම ජයගන්නා කණ්ඩායම (කණ්ඩායම් 24ක්) දෙවැනි වටයට සුදුසුකම් ලබයි.

සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා දිස්ත්‍රික් තරග පැවැත්වෙන අතර, එම තරග ද ලීග් ක්‍රමයටම පැවැත්වීමට කටයුතු යොදා ඇත.’වයස 19න් පහළ යොවුන් පාපන්දු ලීගය’ ලෙසින් නම්කර තිබෙන මෙම තරගාවලිය, මෙරටදී පැවැත්වෙන පළමු යොවුන් ලීගය ලෙසින් ඉතිහාසයට එක්වේ.

තරගාවලිය පිළිබඳ දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ (27දා) කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී පැවැති අතර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර්, ලයිකා ඥානම් පදනමේ සභාපති අලිරාජා සුභාස්කරන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම මාධ්‍ය හමුව පැවැත්විණි.