ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඇය මියයන විට 80වන වියේ පසුවූ බව වාර්තා වේ

සිය මාධ්‍ය දිවිය ආරම්භ කිරීමට පෙර ගුවන් හමුදා නිලධාරිනියක ලෙස සුමනා නෙල්ලම්පිටිය රාජකාරි කර තිබුණා.

පොල්ගස්ඕවිට, සිරිපති විද්‍යාලයෙන් ඇය ප්‍රාථමික අධ්‍යාපනය ලබා ඇති ඇය උසස් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා කැස්බෑවේ හර්මන් මයිනන් විද්‍යාලය වෙත ඇතුළත් වී තිබුණා.

ගුවන්විදුලි හා රූපවාහිනී යන ක්ෂේත්‍ර දෙකේම සම්මානනීය ජ්‍යෙෂ්ඨ නිවේදිකාවක වූ සුමනා නෙල්ලම්පිටිය මහත්මිය ගුවන්විදුලියෙන් මාධ්‍ය ජීවිතය ආරම්භකර ඇත්තේ 1962 වසරේදීයී.

සහාය නිවේදිකාවක් ලෙස ඊට එක් වූ ඇය පිබිදෙන ගායක පරපුර වැනි අතිශ්‍යය ජනප්‍රිය වැඩසටහන් රැසක් ඉදිරිපත් කළා.

ජාතික රූපවාහිනියේ සහ ස්වාධින රූපවාහිනියේ නිවේදිකාවක් ලෙස ඇය සේවය කළා.

අභාවප්‍රාප්ත සුමනා නෙල්ලම්පිටිය මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතයි.