ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තරග පරාජයන්ට ක්‍රිකට් තේරීම් කමිටුව සහ ක්‍රිකට් ආයතනය වගකීම භාරගත යුතු බවත්, අමාත්‍යාංශ මට්ටමින් දැඩි ක්‍රියා මාර්ග ගැනීමට ඉඩ නොතබා ඔවුන් ඉල්ලා අස්විය යුතු බවත් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.
ඔහු මේ බව පවසා සිටියේ නිවේදනයක් නිකුත් කරමිනි.
ක්‍රීඩකයන්ගේ හා ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබෙන මුදල් ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව විසින් අවභාවිත කිරීම ඛේදනීය තත්ත්වයක් වන බවද රොෂාන් රණසිංහ මහතා එම නිවේදනය මගින් අවධාරණය කරයි.
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම ලබන පරාජයන් හමුවේ, ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන සියල්ලෝම පාහේ මේ වන විට දැඩි කණගාටුවකට හා කනස්සල්ලකට පත්ව ඇති බව පෙන්වා දෙන ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා, කිසිදු ක්‍රිකට් ක්‍රීඩකයෙකු අධෛරමත් නොකර ඔවුන්ට සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටින අතර, ලෝකයේ දක්ෂතම ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සතු බවට අමාත්‍යවරයා යළි යළිත් සනාථ කරනු ලබයි.

මෙම පරාජයන්හි වගකීම කිසිදු ක්‍රීඩකයෙකුට හට පැවරිය නොහැකි බවත්, එහි වගකීම වසර 04 ක් පුරා තේරීම් කටයුතු සිදු කළ තේරීම් කමිටුවත්, අවිධිමත් ක්‍රිකට් පරිපාලනයක යෙදෙන ක්‍රිකට් විධායක කමිටුවත් භාර ගත යුතුව බවත් අමාත්‍යවරයාගේ මතය යි.

ICCය වෙතින් අප රටට මුදල් ලැබෙනුයේ, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යත්තර තරගාවලි සඳහා සහභාගී වීම්, මාධ්‍ය විකාශණ අයිතීන්, ජාත්‍යතර තරගාවලි සදහා සත්කාරකත්වය ලබා දීම්, ක්‍රිකට් ක්‍රීඩාවේ හා ක්‍රීඩකයින්ගේ යටිතල පහසුකම් සංවර්ධනය යන කරුණු පදනම් කරගනිමින් උවත්, ක්‍රීඩකයින්ගේ දක්ෂතාවන් මත අප රටට ලැබෙන මුදල් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් දිගින් දිගටම අවභාවිතය සිදු කරනුයේ ක්‍රීඩකයින්ට අවශ්‍ය මූලික පහසුකම්වත් ලබා නොදෙමිනි.

විශේෂයෙන්ම අනෙකුත් සෑම රටක්ම පාහේ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා අති නවීන තාක්ෂණික හා විද්‍යාත්මක ක්‍රම හා මෙවලම් භාවිතා කළ ද, අප රටෙහි එය සිදු නොවීම මත ක්‍රීඩකයන් දිගින් දිගටම ආබාධයන්ට ලක්වීම හේතුවක් ලෙස අමාත්‍යවරයා පෙන්වාදෙනු ලබයි. වර්ෂා දිනයන්හි පුහුණුවීම් කටයුතු සිදු කිරීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමට ගෘහස්ථ ක්‍රීඩාගාරයක් හෝ නොමැති බව ඔබ දන්නෙහිද?
ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාවයට හා පුහුණු අංගයන් අතර අත්‍යවශ්‍ය අංගයන් වන පිහිණුම් තටාකයක් ද මේවන විටත් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉදිවී නොමැති බවට අමාත්‍යවරයා චෝදනා කරනු ලබයි. මීට පෙර 2018 සිදුවූ දැවැන්ත මූල්‍ය අක්‍රමිකතාව නැවත තහවුරු කරන ලද අතර, එම ප්‍රකාශයේ කිසිදු වෙනසක් නොමැති බව අමාත්‍යවරයා පැවසීය.

ඕස්ට්‍රේලියානු T20 ලෝක ක්‍රසලාන තරගාවලි සංචාරයේ දී සිදු වූ දූෂණය ද, LPL තරගාවලියෙන් කිසිදු මුදලක් රටට නොලැබී අත යට සිදුවූ ගණුදෙනු පිළිබව ද සියලු දෙනා දන්නා කාරණයකි. ලෝක කුසලාන තරගාවලිය වැනි පොදු අභිලාෂයන් පසෙකට විසිකර, එම තරගාවලිය පේන මානයේ තිබිය දී LPL තරග කිරීම ක්‍රිකට් ආයතනයේ තාක්ෂණික කමිටුවට, උපදේශකවරුන් හා තේරීම් කමිටුවට නොපෙනීම සැබවින්ම ගැටළු සහගත බවට චෝදනා කරන අමාත්‍යවරයා, උපදේශක කමිටුව හා තාක්ෂණික කමිටුව LPL තරගාවලිය පැවැත්වීම සදහා එකග වූයේ කෙසේදැයි අමාත්‍යවරයා ප්‍රශ්ණ කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තම පුද්ගලික අභිලාෂයන් මත ගත් තීරණ ලෝක කුසලාන තරගාවලිය මෙලෙස පරාජය වීමට හේතු වූ බව පෙන්වාදෙන අමාත්‍යවරයා, LPL තරගාවලිය අතරතුර ආබාධයට ලක්වන ලංකාවේ ප්‍රධානතම දග පන්දු යවන්නා වන වනිදු හසරංගට ලෝක කුසලාන තරගාවලියම අහිමිවීම, අනෙක් දග පන්දු යවන්නා වන මහීෂ් තීක්ෂණ, වේග පන්දු යවන දුෂ්මන්ත චමීර , මතීෂ පතිරණ, ලහිරු කුමාර වැනි දක්ෂ ක්‍රීඩකයින් ආබාධයට ලක් වීම ලෝක කුසලාන තරගාවලියකට කණ්ඩායමක් ලෙස තරග කිරීමට සුදුසු තත්ත්වයක් නොමැතිවීම මෙවැනි තරගාවලි පරාජයන්ට සෘජුව බලපෑ බව අනාවරණය කරයි.

තවද පුද්ගලික පලිගැනීම් සහ නොසලකා හැරීම් මත, රට දෙවෙනි කොට ඇංජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් වැනි ජ්‍යෙෂ්ඨ හා පලපුරුදු ක්‍රීඩකයින් කණ්ඩායමට ඇතුලු නොකිරීම ද මෙම පරාජයන්ට තවත් හේතුවක් බව අමාත්‍යවරයා පෙන්වා දෙනු ලබයි. මෙවන් පසුබිමක් තුළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා තම ක්‍රිකට් ආයතනයෙන් තෝරා යැවූ ක්‍රීඩකයින් දක්ෂතා අතරට නොපැමිණීම හේතුවෙන් පාකිස්තානු ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානීන් ඉල්ලා අස්වීම වගකීම් භාරගැනීම් සබැඳිව කදිම උදාහරණයකි.

ලෝක ශූරතාවයන් දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙවැනි අභාග්‍ය සම්පන්න තත්ත්වයකට ඇද දැමූ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු නිලදාරීන්ට තව දුරටත් බලයේ රැදී සිටිමට සදාචාරාත්මක අයිතියක් ඇති දැයි ප්‍රශ්ණ කෙරෙන අතර, තරගාවලි පරාජයේ වගකීම භාරගෙන ඔවුන් වහාම ඉල්ලා අස්විය යුතු බව අමාත්‍යවරයාගේ ස්ථාවරයයි. හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු මෙම දූෂිත ක්‍රිකට් විධායක කමිටුව හා තේරීම් කමිටුව සාධාරණීයකරණය කරමින් ප්‍රකාශ ලබා දීම හාස්‍යයට මෙන්ම විමතියට කරුණකි.