ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 16දෙනෙකුගෙන් යුත් සංචිතය අද (24දා) අලුයම එංගලන්තය බලා පිටත්ව ගියහ. ඒ එංගලන්ත කාන්තා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 03කින් සමන්විත විස්සයි-20 තරගාවලිය සහ තරග 03කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා මුහුණදීමටය. මෙම සංචිතයේ නායකත්වය චමරි අතපත්තුටත්, උපනායකත්වය ඕෂදී රණසිංහටත් හිමිව තිබේ.

අද අලුයම කණ්ඩායම මෙරටින් පිටත්වීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී සර්ව ආගමික වතාවත්හි නිරත විය.

මෙම මස මස 31වැනිදා දෙරට අතර විස්සයි-20 තරගාවලිය ආරම්භ වීමට නියමිත අතර, ඊට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම මෙම මස 28වැනිදා විස්සයි-20 පුහුණු තරගයක් ක්‍රීඩා කිරීමට නියමිතය. දෙරට අතර එක්දින තරගාවලිය සැප්තැම්බර් මස 09වැනිදා ආරම්භ වීමට නියමිතය. එක්දින තරගාවලිය අයි.සී.සී. කාන්තා එක්දින ශූරතාව යටතේ පැවැත්වේ.

ශ්‍රී ලංකා සංචිතය

චමරි අතපත්තු (නායිකා), ඕෂදී රණසිංහ (උපනායිකා), හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, නිලක්ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, ඉනෝකා රණවීර, සුගන්ධිකා කුමාරි, අනුෂ්කා සංජීවනී, උදේශිකා ප්‍රබෝධනී, අචිනි කුලසූරිය, කාව්‍යා කාවින්දි, ඉනෝෂි ප්‍රනාන්දු, හංසීමා කරුණාරත්න, හසිනි පෙරේරා, ඉමේෂා දුලානි