ජාතික ගුවන් සේවය වන ශ්‍රීලන්කන් ගුවන් සේවය 2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මාස නවය සඳහා කලකට පසුව ලාභයක් වාර්තා කර ඇත.

පෞද්ගලීකරණය කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටින ගුවන් සමාගම, 2023 දෙසැම්බර් 31 න් අවසන් මාස නවය සඳහා රුපියල් බිලියන 1.124 ක ලාභයක් වාර්තා කර ඇති බව 2023 අයවැය තත්ත්ව වාර්තාව පෙන්වා දෙයි.

2023, 2022, 2021 සහ 2020 මාර්තු 31 න් අවසන් වූ සම්පූර්ණ මූල්‍ය වර්ෂ සඳහා ගුවන් සමාගම රුපියල් බිලියන 73.26, රුපියල් බිලියන 165.89, රුපියල් බිලියන 45.23 සහ රුපියල් බිලියන 47.19ක අලාභ වාර්තා කර ඇත.

2023 දෙසැම්බර් 31 දක්වා මාස නවය සඳහා ශ්‍රීලන්කන් එයාර්ලයින්ස් රුපියල් බිලියන 248 ක ආදායමක් වාර්තා කර ඇති බව නිල දත්ත පෙන්වා දෙයි.

එම කාලය සඳහා වියදම් රුපියල් බිලියන 223 ක් වාර්තා කර ඇති අතර, එහි රුපියල් බිලියන 24.5 ක බදු ගෙවීමට පෙර ඉපැයීම් සටහන්ව ඇත.

කෙසේවෙතත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සමුච්චිත පාඩුව රුපියල් බිලියන 611.2 කි.

2022/23 කාලය තුළ එහි පවතින මුදල් ප්‍රවාහ ගැටලුවලට සහාය වීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගම වෙනුවෙන් අන්තර්ජාතික ගුවන් ප්‍රවාහන සංගමයට (IATA) ඇමෙරිකානු ඩොලර් මිලියන 11.6ක භාණ්ඩාගාර ඇපයක් නිකුත් කිරීමෙන් රජය ආධාර ලබාදුන්නේය.

තවද, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව වෙත ගෙවිය යුතු රුපියල් බිලියන 102.5 ක හිඟ ශේෂය පියවීම සඳහා, කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද පරිදි, මහා භාණ්ඩාගාරය විසින් 2023 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අමතර කොටස් ප්‍රාග්ධනයක් ලබාදෙන ලදී.

ශ්‍රීලංකන් ගුවන් සේවයේ මූල්‍ය බාධාවන්ගේ බලපෑම පසුගිය කාලය පුරාවටම පැහැදිලි වූ මෙහෙයුම්වලට ඇති බාධාවන් තුළින් පැහැදිලිවම ප්‍රකාශ වී ඇති බව වාර්තාව පෙන්වා දෙයි.