ශ්‍රී ලංකාව සහ චීනය අතර බෞද්ධ දර්ශනය සහ සංස්කෘතික හුවමාරුවන් සඳහා වැඩසටහන් රැසක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කළේ ය.

මහජන චීනයේ වයිට් හෝස් විහාර පරිශ්‍රයේ ශ්‍රී ලංකේය සම්ප්‍රදායේ බෞද්ධ විහාරස්ථානයක් ඉදිකිරීම සම්බන්ධව සහ දෙරට අතර ආගමික හා සංස්කෘතික සහයෝගීතාවය පිළිබඳව චීන දූත පිරිසක් සමඟ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ පිළිබඳව පැවැසී ය.

දෙරට අතර, පුරාවිද්‍යාත්මක දැනුම හුවමාරු කර ගැනීමේ වැඩසටහන්, සංචාරක හා ව්‍යාපාරික ප්‍රවර්ධන වැඩසටහන් ආදී ව්‍යාපෘතින් රැසක් ද ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා දූත පිරිස සමඟ එහිදී සාකච්ඡා කළේ ය.

මහජන දේශපාලන උපදේශක – හෙනාන් කමිටුවේ උප සභාපති ජන්ග් ජන්යු, කමිටු සාමාජික සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ජන්ග් බන්ග්ෂන්, හෙනාන් පළාත් කටයුතු කාර්යාලයේ විදේශ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලී බින්ග් බින්ග්, හෙනාන් පළාත් රජයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජු (සී)ෆන්ග්, හෙනාන් භූ විද්‍යා කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් යූ වෙයි, Henan FAO හි ආසියානු සහ අප්‍රිකානු කටයුතු සඳහා නියෝජ්‍ය අධ්‍යක්ෂ (පරිවර්තක) වැන්ග් සී, අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ, අතිරේක ලේකම් (ආගමික කටයුතු) එච්.එන්.කුමාරි යන මහත්ම මහත්මිහු මෙම අවස්ථාවට එක්වුහ.