මෙවර ජනාධිපතිවරණය සදහා රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට එක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඒ, සම්බන්ධයෙන් වන ලිපි කඩිනමින් එම මන්ත්‍රීවරුන් වෙත යොමුකිරීමට කටයුතු කරන බවයි.

විනය ක්‍රියාමාර්ග ගැනීමෙන් අනතුරුව පක්ෂයේ තීරණයට එරෙහි වූ මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි වනු ඇති බවද සඳහන්

ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එහි දේශපාලන මණ්ඩලය පසුගියදා රැස්වී තිබුණු අතර එහිදී පක්ෂයෙන් අපේක්ෂකයෙකු නම් කිරීමට තීරණය කළ අතර, එම තීරණයට එරෙහි වූ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවටද තීරණය කෙරුණි.

කෙසේ වෙතත් පක්ෂයේ තීරණයට එරෙහිවූ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා ලෙසට පසුගිය සති කිහිපය පුරා පක්ෂයේ දේශපාලන මණ්ඩලයට දැඩි බලපෑම් එල්ලකර ඇති බවද වාර්තා වෙයි.

පක්ෂය ගත් තීරණයට එරෙහි වූ මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ ක්‍රියාකාරකයින් බොහෝ දෙනෙකු ඉල්ලීම් කර තිබූ බවද පැවසෙයි.