ප්‍රාදේශීය සභා, නගර සභා, මහා නගර සභා සංශෝධන පෞද්ගලික මන්ත්‍රී යෝජනාව, ආණ්ඩුව මුල්වී ඉදිරිපත් කළ එකක් නොවන බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ආණ්ඩුව ගරුකරන බවත් අගමැති දිනේෂ් ගුණවර්ධන පවසා ඇත.

ජ්‍යෙෂ්ඨයන් ලෙස පෞද්ගලික මන්ත්‍රීවරුන්ට යෝජනා ඉදිරිපත් කිරීමට ඉඩදී ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන අතර එසේවුවත් පෞද්ගලිකව මන්ත්‍රීවරුන්ට අවශ්‍ය ඕනෑම දෙයක් කළ නොහැකි බවද ඔහු සඳහන් කර තිබේ.

ඔහු මේ බව කියා සිටියේ, එම පෞද්ගලික මන්ත්‍රී යෝජනා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව, කතානායකවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විමසුවේ, ප්‍රකාශයට පත්කළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ දැක්වෙන පරිදි, මෙම පෞද්ගලික මන්ත්‍රී යෝජනා සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ ඡන්දයක් හා ජනමත විචාරණයක් පැවැත්වීමට ආණ්ඩුව සුදානම්ද යනුවෙනි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙසේද පවසා ඇත.

“ආණ්ඩුව කිසිම වෙලාවක මේ පනතේ මූලාරම්භකයෙක් නෙවෙයි. ඉතින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී තිබෙන තීන්දුවට ආණ්ඩුව හැමතිස්සෙම ගරු කරනවා. කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ පුද්ගලික මන්ත්‍රීවරුන්ට ඕනෑම දෙයක් ඉදිරිපත් කළ හැකියි. මේ කොයි ආණ්ඩුව කාලයේත් ඒ කාලයේත්, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමත් දන්නවා, අපේ අත්තනායක ඇමතිතුමා ඉදිරිපත් කරලා වෙච්චි දේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට. ඉතින් ඒ නිසා අපි වගකීමෙන්, ජ්‍යෙෂ්ඨයන් හැටියට පුද්ගලික මන්ත්‍රීවරුන්ට ඉඩ දී, ඒ අයගේ අයිතිවාසිකම් පිළිබඳ හැසිරෙන්න පුළුවන්. නමුත් ඔවුනට ඕන ඕන දේ කරන්න බෑ.”